May 8, 2024

Fly TV

Space of free media

ඔටාවා ඝාතනයේ තවත් තොරතුරු නිවසේ හිමිකරුගෙන් වෙන හෙළිදරව්ව

 40,976 total views

කැනඩාවේ ඔටාවා හි නිවසක් තුළ අමානුෂික ලෙස ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකීක පවුලේ තුවාල ලැබූ පුද්ගලයාගේ ජීවිතයට තර්ජනයක් නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

කෙසේ වෙතත් ඔහු බරපතල තුවාල ලබා ඇති බවයි එහි දක්වා ඇත්තේ.

ධනුෂ්ක වික්‍රමසිංහ නමැති පුද්ගලයාට සැත්කමක් සිදු කර ඇති බව ද සඳහන්.

ඔහුගේ පියා සහ සහෝදරයා ඉදිරියේ කැනඩාවට පැමිණීමට නියමිත බවට ද තොරතුරු වාර්තා වනවා.

අද (09) දිනයේ දී අදාළ නිවසේ ස්ථානීය පරීක්ෂාවක් සිදු කිරීමට නියමිත බව ද සඳහන්.

මෙම අමානුෂික ඝාතනයන් සිදු කරනු ලැබුවේ, ෆේබ්‍රියන් ද සොයිසා නමැති 19 හැවිරිදි ශ්‍රී ලාංකි‌කයෙක්.

මෙම සිද්ධියේ ප්‍රධාන සහ එකම සැකකරු ඔහු වනවා.

ෆේබ්‍රියන් ද සොයිසා අධ්‍යාපනය ලැබීම සඳහා කැනඩාවට පැමිණි බවටයි මූලික විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ.

සැකකරු විසින් තියුණු ආයුධයකින් ඇන මෙම ඝාතන සිදු කර තිබුණා.

එලෙස ඝාතනයට ලක් වූයේ එකම පවුලේ මව, දරුවන් සිව් දෙනා සහ එම පවුලේ හිතවතෙකුයි.

ඝාතනය ලක්වූ දරුවන් සිව් දෙනාම වයස අවුරුදු 7ට අඩු බව ද සඳහන්.

මියගොස් ඇත්තේ 35 හැවිරිදි දර්ශනී දිලන්තිකා ඒකනායක, හත් හැවිරිදි ඉනුක වික්‍රමසිංහ, සිව් හැවිරිදි අශ්විනි වික්‍රමසිංහ, දෙහැවිරිදි රින්යානා වික්‍රමසිංහ, දෙමස් හැවිරිදි කෙලී වික්‍රමසිංහ සහ වික්‍රමසිංහ පවුලේ හිතවතකු වූ 40 හැවිරිදි ගාමිණි අමරකෝන් යන අයයි.

දෙදරු පියෙකු වන ගාමිණි අමරකෝන් මාස දෙකකට පෙර රැකියාවක් සඳහා කැනඩාවට පැමිණි අයෙකු වන බව සඳහන්.

මෙම සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ, ඝාතනයට ලක් වූ දරුවන්ගේ පියායි.

මෙම ඝාතනය සිදු කිරීමට කිසිදු අරමුණක් නොමැති බවට ද පොලිසියේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

මේ අතර සැකකරුගේ නමින් තිබූ Youtube ගිණුම සහ සෙසු සාමාජ මාධ්‍ය ගිණුම් මේ වනවිට ඉවත් කර තිබෙනවා.

ෆේබ්‍රියන් ද සොයිසා විසින් කොවිඩ් වසංගත සමයේ Minecraft වැනි වීඩියෝ ක්‍රීඩා සම්බන්ධ වීඩියෝ සමාජ මාධ්‍ය තුළ බෙදාගෙන ඇති අතර එය Mr. Beast නමැති අයෙකුගේ අගය කිරීමට ලක් වී ඇති බවටයි, අනාවරණ වී ඇත්තේ.

මළ සිරුරු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අධික වියදමක් දැරීමට සිදු වනු ඇති බව සඳහන්.

මේ අතර අදාළ නිවසේ අට දෙනෙකු පමණ රැඳි සිටින බවට තමන් දැනුවත්ව නොසිටි බවයි, නිවසේ හිමිකරු ප්‍රකාශ කර ඇත්තේ.

එහි හිමිකරු මැක්සිකෝවේ සිට කැනේඩියානු මාධ්‍යයක් වෙත අදහස් පළ කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.

පසුගිය ජුනි හෝ ජූලි මාසයේ දී අදාළ පවුලේ සාමාජිකයන් විසින් මෙම නිවස බදු ක්‍රමයට ලබා ගෙන ඇති බව සඳහන්.

මෙම යුවලට අලුත දරුවෙකු උපන් බවත් තවත් අමුත්තන් එහි රැඳි සිටින බවත් තමන් දැනුවත්ව නොසිටි බව ඔහු කියා සිටියා.

අපිත් එක්ක කතා කරන එක නතර කළා
අදාළ ඝාතනය සම්බන්ධයෙන් ෆේබ්‍රියන් ද සොයිසාගේ නැන්දනිය කැනේඩියානු මාධ්‍ය වෙත අදහස් පළ කර තිබෙනවා.

එහි දී ඇය ප්‍රකාශ කර ඇත්තේ, මෙම පුවත අසා තමා තිගැස්සුණු බවයි.

එම පවුලේ සාමාජිකයන් ඔහුට ඉතා හොඳින් සලකා ඇති බවත් ඔවුන් ඉතා යහපත් පිරිසක් බවත් ඇය කියා සිටියා.

ෆේබ්‍රියන් ද සොයිසා තම සහෝදරයාගේ වැඩිමල් පුත්‍රයා වන බවයි, ඇය අනාවරණ කළේ.

මීට වසර දෙකකට පෙර කැනඩාවට පැමිණි ඔහු ඉතා නිහඬ තරුණයෙකු වනවා.

සැකකරු මාසයකට ආසන්න කාලයක් තමා සමඟ රැඳි සිටි බවයි ඇය ප්‍රකාශ කළේ.

ෆේබ්‍රියන් ද සොයිසා ඇල්ගොන්ක්වින් විද්‍යාලයේ දී තුවාල ලබා සිටින ධනුෂ්ක වික්‍රමසිංහ හඳුනාගෙන තිබෙනවා.

ධනුෂ්කගේ පවුලේ සාමාජිකයින් ශ්‍රී ලංකාවේ සිට ඔටාවා වෙත පැමිණි පසු ඔවුන්ගේ නිවසට ෆේබ්‍රියන් පදිංචියට ගොස් ඇති බව සඳහන්.

එහි යාමට පෙර ඔහු ඔටාවා හී පිහිටි තවත් ඥාතියෙකුගේ නිවසේ වාසය කර ඇති බව සඳහන්.

අනතුරුව ඔවුන් සියලුදෙනාම මඟහැර ධනුෂ්කගේ නිවසේ වාසය කිරීම සඳහා ගොස් ඇති බවයි නැන්දනිය සඳහන් කළේ.

සමාජ මාධ්‍යවලින් සිය ඥාතීන්ව ඉවත් කර ඇති ඔහු දුරකතන අංකය පවා මාරු කර ඇති බව ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.