May 19, 2024

Fly TV

Space of free media

මනමාලි නැති වුණොත් දෙවැනි මනමාලි පෝරුවට නගින්නම ඕනද ?

 25,454 total views

විවාහ මංගල උත්සවයක්දාකට මනමාලියට අමතරව තවත් යහළු මනමාලියක්ව අන්දවන එක ඒ කාලෙ ඉඳලා පැවතගෙන එන චාරිත්‍රයක්නේ. එහෙම කරන එකේ අරමුණ තමයි මඟුලට කලින් මනමාලිට මොනයම්ම හරි අකරතැබ්බයක් වුණොත් මනමාලයාට ඇයව විවාහ කරලා දෙන එක.

ඒ නිසා ඒ කාලේ මඟුල් ගෙවල්වල අද වගේ යාළු හිතමිත්‍රකම්වලට තැන දීලා ආවට ගියාට දෙවැනි මනමාලියෝ තෝරගෙන නෑ. දෙවැනි මනමාලියක් වෙන්න සුදුදුකම් තිබිලා තියෙන්නේ අවිවාහක, දරුවෝ නැති, මනමාල පාර්ශවයට නෑකම් නොකියන තැනැත්තියකට විතරයි. මොකද හදිස්සියේ හරි මනමාලි පෝරුවට නග්ගන්න බැරි වුණොත් මනමාලයාගේ ඊළඟ තුරුම්පුව දෙවැනි මනමාලි නිසා. හැබැයි අදනම් ගොඩක් මඟුල් ගෙවල්වල ඉන්න දෙවැනි මනමාලියෝ එක්කො විවාහකයි. ඒ වගේම මනාලයාගේ සහෝදරියන් දෙවැනි මනාලියට අඳින අවස්ථාත් නැතුව නෙවෙයි.

ඇත්තමට විවාහක කාන්තාවන් දෙවැනි මනමාලියෙකුට ඉන්න එක වැරදිද?

ඒ ගැන ඇහුවම කොළඹ විශ්වවිද්‍යාලයේ විශ්‍රාමික මහාචාර්ය ජනහිත විජයබණ්ඩාර මහතා කිව්වේ මෙහෙම කතාවක්.

මෙහෙමයි. අපි දෙයක් කරන්න කලින් ඒ දේ කරන්නෙ මොන පදනමකින්ද කියලා හිතන්න ඕනෙනේ. මේ කතාව පටන්ගන්නකොටම කියලා තියෙනවා ඒ කාලේ මඟුල් ගෙවල්වලට දෙවැනි මනමාලියක් නැත්තම් යහළු මනමාලියක්ව ඉදිරිපත් කළේ මනමාලිට අකරතැබ්බක් වුණොත් මනමාලයාට විවාහ කරලා දෙන අරමුණින් කියලා. ගොඩක් වෙලාවට ඉතින් වෙන්න තියෙන ලොකුම අකරතැබ්බය තමයි මනමාලි වෙනත් පුරුෂයෙක් එක්ක පැනලා යන එක.

ඒ නිසා ඉස්සර ගෑනු ළමයෙක්ව දෙවැනි මනමාලියෙකුට අන්දවන්න කලින් ඒ දැරිවිගෙන් අහන මුල්ම ප්‍රශ්නේ තමයි නිකමටවත් අර මිනිහා එක්ක දීග යන්න වුණොත් එහෙම යන්න කැමතිද කියන එක. බැරිවෙලාවත් ඇය ඒකට අකමැති වුණොත් එහෙම කෙනෙක්ව දෙවැනි මනමාලියෙකුට අරගෙන නැහැ. ඒ වගේම එදා ගෑනු ළමයෙකුට තුන්පාරකට වඩා දෙවැනි මනමාලියෙකුට හැඩවෙන්නත් බැරිලු. නිකමටවත් එහෙම කළොත් ඒ තරුණිය දීග යාගන්න බැරුව ගෙදරට නාකිවෙන එකියක් විදියටයි සැළකුවේ. එහෙම කෙනෙක්ව ඒ කාලේ දෙවැනි මනමාලියෙකුට තියා මඟුලකට වද්දාගත්තෙත් හොඳට හිතලා බලලා කියනවා.

ඕකට මම තව හොඳ ඇත්තම කතාවකුත් කියන්නම්.

මීට අවුරුදු හත අටකට කලින් නුවර අපේ ගම්පළාතේ මංගල්‍යයක ඔය විදියෙම දෙයක් වෙලා තිබුණා. මේ කියන මඟුලේ මනමාලි මනමාලයාව බඳින්න කැමති වෙලා තියෙන්නෙත් ඇයගේ අම්මා අප්පාගෙ බලවත් පෙරැත්ත උඩ. අන්තිමට සේරම ලකලෑස්ති කරගෙන මඟුලට නෑදෑ සනුහරේමත් ආවට පස්සෙ තමයි දැනගෙන තියෙන්නෙ මනමාලි අතුරුදන් කියලා. හොයලා බැලින්නම් ඒ කෙල්ල කලින් පෙම්වතා එක්ක පැනලා ගිහිල්ලා. පස්සෙ ඉතින් මඟුල් ගෙදර එකම ගාලගෝට්ටියක්ලු. අන්තිමට කරන්නෙ මොකද්ද කියලා කල්පනා කරලා දෙපැත්තෙම වැඩිහිටියෝ තීරණය කරලා තියෙනවා දෙවැනි මනමාලිවයි මනමාලයාවයි කසාද බන්දන්න. ඒ ජෝඩුවගෙත් ඒකට වැඩි අකමැත්තක් තිබිලා නැති නිසා ඒ වෙලාවේ ඒ මඟුල කෙරිලා තියෙනවා. දැන් මං අහන්නෙ බැරිවෙලාවත් එදා දෙවැනි මනමාලිට ඇඳලා හිටියේ අද කාලෙ වගේ මනමාල මහත්තයාගේ නංගි එහෙමනම් ඒ වගේ විසඳුමකට යන්න බැහැනේ. ආන්න ඒකයි දෙවැනි මනමාලියෙකුට අඳින්න කලින්ම එහෙම අඳින්න හේතුව දැනගෙන ඉන්න කියන්නේ.

හැබැයි මං දකින විදියට ගොඩක් වෙලාවට ඕකෙ දෙපැත්තක් තියෙනවා. මොකද මඟුලක් කියන්නෙ තනිකරම තම තමන්ගේ පෞද්ගලික ආසාවල් සහ කැමැත්ත මුදුන්පත් කරගෙන කරන එකක්නේ. ඒ නිසා අපේ මඟුල අපිට ඕනෙ හැටියට මිසක රට්ටුන්ට ඕනෙ හැටියට නෙවෙයි කියලා කෙනෙක් කියන්න පුළුවන්. හැබැයි චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරද්දී ඒවායේ නිකන්ම විලාසිතාවට නොකර ඒවායේ අර්ථය දැනගෙන කරන එක හොඳයි කියන එකයි මගේ නම් අදහස.

ලිහිණි මධුෂිකා

උපුටාගැනීම ධරණී පුවත්පත