May 19, 2024

Fly TV

Space of free media

කුසල්ට පැමිණි පීඩනය නැති කිරීමට දසුන්ට නායකත්වය දුන්නා… තේරීම් කමිටු සභාපති ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ

 33,085 total views

කුෂාන් සුබසිංහ
 
 දසුන් ශානකට ශී‍්‍ර ලංකා එක්දින සහ පන්දුවාර 20-20 නායකත්වය ලබා දුන්නේ නායකත්වය දැරීම මගින් කුසල් ජනිත් පෙරේරාට එල්ල වූ පීඩනය නැති කර දැමීමට බව කි‍්‍රකට් තේරීම් කමිටු සභාපති ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ මහතා ‘දිවයින’ට පැවසීය.
 
 මේ අවස්ථාව වනවිට ශී‍්‍ර ලංකා කණ්ඩායම පත්ව තිබෙන තත්ත්වය අනුව කණ්ඩායමටත්, නායකත්වයටත් විශාල පීඩනයක් එල්ල වෙමින් පවතින බවත් තේරීම් කමිටු සභාපතිවරයා පැවසීය.
 
 එවැනි තත්ත්වයක් තුළ ආරම්භක පිතිකරුවා සහ කඩුලූ රකින්නාගේ වගකීම් ද දරමින් නායකත්වයේ අතිරේක පීඩනයක් කුසල්ට යොමු කිරීමෙන් වන්නේ ඔහු තවත් පීඩනයට පත්වීම බවත් තේරීම් කමිටු සභාපතිවරයා කීය.
 
 ඒ අනුව තුන්ඉරියව් කී‍්‍රඩක දසුන් ශානකට ශී‍්‍ර ලංකා සීමිත ඕවර නායකත්වය ලබාදුන් බවත් ඔහු පන්දුවාර 20-20 තරගවලදී මීට පෙර ශී‍්‍ර ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදී කණ්ඩායම ජයග‍්‍රහණය කරා මෙහෙයවා ඇති බවත් තේරීම් කමිටු සභාපතිවරයා පැවසීය.
 
 එවකට අංක එකේ පන්දුවාර 20-20 කණ්ඩායම බවට පත්ව සිටි පකිස්තානය 2019 වසරේදී ඔවුන්ගේ රටේදීම පරාද කරමින් තරග 3-0ක් ලෙස තරගාවලිය ජය ගැනීමට දසුන්ගේ නායකත්වයෙන් යුතු ශී‍්‍ර ලංකා කණ්ඩායමට හැකි විය.
 
 ශී‍්‍ර ලංකාව අවසන් වරට පන්දුවාර 20-20 තරගාවලියක් ජය ගත් අවසන් අවස්ථාව එය වන අතර දසුන් ශානකගේ නායකත්වය පන්දුවාර 20-20 ලෝක කුසලානය ඉලක්ක කර සිදු වූවක් බවත් තේරීම් කමිටු සභාපතිවරයා ‘දිවයින’ට පැවසීය.
 
 කෙසේ වෙතත් අදාළ පකිස්තාන තරගාවලියෙන් පසුව දසුන්ගෙන් නායකත්වය ඉවත් කර ලසිත් මාලිංගට නායකත්වය ලබාදුන් අතර නැවත දසුන්ට පන්දුවාර 20-20 නායකත්වය ලබා දුන්නේ පසුගිය මාර්තු මාසයේදී පැවැති බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදීය. එහෙත් වීසා ප‍්‍රශ්නයක් හේතුවෙන් දසුන්ගේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය පමා වූ අතර ඒ අනුව ඔහුට එහිදී නායකත්වය හිමි නොවීය.
 
 අනතුරුව කුසල් ජනිත් පෙරේරාට පන්දුවාර 20-20 සහ එක්දින තරග යන අංශ දෙකේම නායකත්වය හිමි වූ අතර බංග්ලාදේශ සහ එංගලන්තයට එරෙහිව පැවැති එක්දින තරග 4 ක් සහ පන්දුවාර 20-20 තරග 3 ක් පරාජයට පත් විය.
 
 29 හැවිරිදි දසුන් ශානක ශී‍්‍ර ලංකාව වෙනුවෙන් එක්දින තරග 28 කට සහ පන්දුවාර 20-20 තරග 43 කට කී‍්‍රඩා කර ඇත.
 
 එහිදී එක්දින තරගවලදී ලකුණු 612 ක් සහ කඩුලූ 10 ක් ද, පන්දුවාර 20-20 තරගවලදී ලකුණු 548 ක් සහ කඩුලූ 11 ක් ද දසුන් ශානක ලබා ගෙන ඇත.