September 21, 2024

Fly TV

Space of free media

හුදකලා කළ ප්‍රදේශ ගැන ගත් අලුත්ම තීරණ

 388 total views

බස්නාහිර පළාතෙන් පිටතට ගමන් කිරීම තහනම් කරමින් පනවා තිබූ සංචරණ සීමාවන් අද (15) සිට ඉවත් කෙරෙන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව, අද මධ්‍ය රාත්‍රියෙන් පසු සාමාන්‍ය පරිදි බස්නාහිර පළාතින් පිටතට ගමන් කළ හැකි බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

කොළඹ දිස්ත්‍රික්කයේ දැනට හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති පොලිස් බලප්‍රදේශ 12ට අමතරව තවත් ප්‍රදේශ කිහිපයක් හෙට (16) උදෑසන 05.00 සිට හුදකලා කරන බවද කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤවීදිය සහ වේල්ලවීදිය යන ප්‍රදේශ මෙලෙස හෙට සිට හුදකලා කර තිබේ.

මීට අමතරව ගම්පහ  දිස්ත්‍රික්කයේ කැලණිය පොලිස් බලප්‍රදේශය හෙට සිට හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කරන බවද යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ දැනට හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති මීගමුව, ජාඇළ, රාගම, කඩවත, වත්තල, පෑලියගොඩ, කැලණිය යන ප්‍රදේශ තවදුරටත් එලෙසම පවතින බව යුද හමුදාපතිවරයා පවසයි.

මීට අමතරව හුදකලා කර ඇති සෙසු ප්‍රදේශ අද දින සිට එම තත්ත්වයෙන් මුදාහරින බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල නගර සභා සීමාව, කුලියාපිටිය පොලිස් බලප්‍රදේශය කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, ඉංගිරිය, වෑකඩ බටහිර යන ප්‍රදේශ හුදකලා තත්ත්වයෙන් මුදාහරිනු ඇත.

කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල සහ මාවනැල්ල යන ප්‍රදේශ ද අද දිනයේ සිට හුදකලා තත්ත්වයෙන් මුදාහරින බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය.