September 20, 2024

Fly TV

Space of free media

දුර්ලභ නිවුන් පැටවුන් බිහිකරණ ප්‍රසූතියේදී මව කලබල වීම නිසාවෙන් ඇත්ගොව්වෙක් රෝහලට.

 73,881 total views

මධ්‍යම තායිලන්තයේ ”Ayutthaya Elephant Palace” හි සිදු වූ දුර්ලභ ගණයේ නිවුන් අලි උපතක් පිළිබඳ විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා. මෙම උපත සැබවින්ම ‘ආශ්චර්යයක්’ හැටියටයි උද්‍යාන භාරකරුවන් විසින් විස්තර කර ඇත්තේ.

මෙම ආශ්චර්යමත් නිවුන් අලි පැටවුන් බිහිකළ 36 හැවිරිදි ආසියානු කෙනෙර නම් කර ඇත්තේ ‘චම්චුරි’ නමිනි.

විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව, 60kg ට වඩා වැඩි බරකින් යුක්ත පළමු පැටවා (පිරිමි) බිහිකිරීමෙන් අනතුරුව චම්චුරි තරමක් කලබලකාරී බවක් පෙන්නුම් කරමින් දෙවන පැටවා බිහිකර ඇති බව සඳහන්.

භාරකරුවන් පෙන්වා දෙන්නේ දෙවන උපත මව භීතියට පත් කළ සෙයක් පෙන්නුම් කරැති අතර එම ගැහැණු පැටවාට (55kg) මව විසින් පයින් ගැසීම වළක්වාගැනීමට ඇයව පාලනය කිරීමට දැඩි වෙහෙසක් දැරීමට සිදු වූ බවයි.

එහිදී ඈට සහයට සිටි ඇත්ගොව්වෙකු තුවාල ලබා ඇති බවද සඳහන්.

කෙසේ නමුත් වසර 15ක් තිස්සේ උද්‍යානයේ සේවය කරන 31 හැවිරිදි එම ඇත්ගොව්වා පවසා තිබුණේ තුවාලයේ වේදනාවට වඩා දුර්ලභ නිවුන් අලි උපත, තමාට සතුටට කාරණයක් වන බවයි.

“මම ගොඩක් සතුටු වුණා, මට වේදනාව දැනෙන්නේ නැහැ.

අලුත් මව සෑම විටම දරුවාට පයින් ගැසීමට හෝ තල්ලු කිරීමට උත්සාහ කිරීම සාමාන්‍ය දෙයකි.

ඇය අලි පැටවා පෑගිය හැකි යැයි මම බිය වූවෙමි.

එබැවින් මම ඉදිරියට ගොස් මව, කුඩා පැටවාගෙන් අවහිර කිරීමට උත්සාහ කළෙමි…”

මෙලෙස උපත ලබා ඇති ගැහැණු පැටවා තරමක් කුඩා වන අතර ඇයට මවගෙන් කිරි ලබාදීමට පුටුවක් මත තැබීමට සිදුවන බවත් සඳහන්.

‘සේව් ද එලිෆන්ට්’ නම් පර්යේෂණ සංවිධානයට අනුව නිවුන් අලි උපත් සියයට එකක් පමණක් වන අතර, එය පිරිමි – ගැහැණු වීම ඊටත් වඩා දුර්ලභ ය.

ජනගහනයෙන් බහුතරයක් බෞද්ධයන් වන තායිලන්තයේ අලි ඇතුන් පූජනීය ලෙස සලකනු ලැබේ. එමෙන්ම අලි ඇතුන් ජාතික සංකේතයක් ද වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි Ayutthaya Elephant Palace වෙත පැමිණෙන ළමයින් ඇතුළු නරඹන්නන්ට නිවුන් අලි පැටවුන් බැලීමට අවසර ඇත.

නමුදු ඒ, පාවහන් සහ දෑත් විෂබීජහරණය කිරීමෙන් පසුව පමණි.

ඒ අනුව පැටවුන්ගේ සෞඛ්‍ය කෙරෙහි දැඩි සැලකිල්ලක් දක්වන උද්‍යාන කාර්යය මණ්ඩලය “කරුණාකර අලි පැටවුන් අල්ලන්න එපා” යන්නෙන් පුවරුවක් ද එහි ප්‍රදර්ශනය කරැත.

තායි සම්ප්‍රදායට අනුව උපතින් දින හතකට පසු පැටවුන්ට නම් තැබෙනු ඇත