May 19, 2024

Fly TV

Space of free media

භූමදානයෙන් දින තුනකට පස්සේ ගෙදර ආපු පුතා

 35,971 total views

මරණ පරීක්ෂණයක් කර සිරුර භූමදාන කිරීමෙන් දින තුනකට පසු මියගිය පුද්ගලයා මව හා ඥාතීන් සමග ගම්පොල රෝහලේ හදිසි මරණ පරීක්ෂක නලින් ඒ. මැදිවක මහතා ඉදිරියේ පෙනී සිටීමේ සිද්ධියක් පිළිබඳව ගම්පොල පොලීසිය පරීක්ෂණයක් අරඹා ඇත.ගම්පොල බස් නැවතුම්පොළේ දී පුද්ගලයකු හෘදයාබාධකයකින් මීට මාස දෙකකට පෙර මියගියේය. හඳුනා ගැනීමට නොහැකි වීමෙන් ගම්පොල රෝහලේ මෘත ශරීරාගාරයේ එම මෘත දේහය මාස දෙකක පමණ කාලයක් තබා තිබිණි.

ඒ අතර පොලිසිය මොහුගේ ඥාතීන් පිරිසක් හඳුනාගෙන ඇති අතර ඔවුහු උඩහේන්තැන්න මේරිවිල වත්ත පහළ කොටසේ පදිංචිකරුවෝ වෙති.ඒ අනුව මියගිය අයගේ මව, සහෝදරයා ඇතුළු එම පිරිස ගම්පොල රෝහලට පැමිණ මළ සිරුර හඳුනා ගනු ලැබූ අතර මව පවසා ඇත්තේ මියගොස් ඇත්තේ

ලාසර් මයිකල් නමැති 59 හැවිරිදි තම පුතා බවය. සහෝදරයා හා ඥාතීන් ද එම මළ සිරුර හඳුනා ගැනීමෙන් පසු හදිසි මරණ පරීක්ෂක නලින් ඒ. මැදිවක මහතා එම මළ සිරුර නිදහස් කළ අතර පිරිස මළසිරුර මේරිවිල වත්ත ප්‍රදේශයට රැගෙන ගොස් ගරුබුහුමන් පවත්වා ආගමික කටයුතුද කර දින දෙකකට පසු භූමදානය කර ඇත.

මියගියා යැයි කී තැනැත්තා සිද්ධියෙන් දින තුනකට පසු නිවසට පැමිණ “අම්මේ මම ගෙදර ආවා” යැයි පැවසීම නිසා පිරිස කලබල වී “උඹ ගම්පොළදී මැරිලා හිටියා. අපි උඹ ගෙදරට ගෙනත් වළ දැම්මා යැයි සඳහන් කර ඇත. “නෑ අම්මේ මම ගම්පොල පැත්ත පළාතෙ ගියේ නෑ. මම හිටියේ නාවලපිටියේ යැයි කිවූ නිසා එම මව සහෝදරයා හා ඥාතීන් එක්ව එම මියගිය අය ද කැඳවාගෙන මෙසේ මරණ පරීක්ෂකවරයා හමුවී තිබිණි.

මරණ පරීක්ෂකවරයා ඉදිරියේ සිද්ධිය විස්තර කර ඇත්තේ මළ ගෙදරට රුපියල් හැත්තෑ දාහක් විතර වියදම් වුණා යනුවෙන් පවසමිනි.ඒ අනුව භූමදානය කෙරුණු පුද්ගලයා ගැන මරණ පරීක්ෂකවරයාගේ දැනුම්දීම මත ගම්පොල පොලීසිය පරීක්ෂණයක් කළේය.මියගියයි කිවු ලාසර් මයිකල් නමැති අය

දෙදරු පියකු වන අතර ඔහුගේ බිරිය ඔහු හැර ගොස් තිබිණි. ඉන්පසුව ඔහු තම දරුවන්ගේ නිවෙස්වල ද විවිධ රැකියා කිරීම සඳහා එම නිවාසවලින් පිටද සිටීමට පුරුදු වී ඇත.අවසාන කාලයේ මොහු නාවලපිටිය ප්‍රදේශයේ දුවගේ නිවසේ සිට ඇති අතර වැඩිපුරම කාලය ගත කර ඇත්තේ නාවලපිටිය නගරයේ හෙයින් දුවගේ නිවසට ද බොහෝ කලකින් ගොස් නැත.අවසාන ලෙස සහෝදරයා ද මීට මාස තුනකට පෙර ගම්පොළ නගරයේ දී මොහු දුටු බව මරණ පරීක්ෂකවරයා ඉදිරියේ ප්‍රකාශ කර තිබිණි.