May 19, 2024

Fly TV

Space of free media

අන්ධ ගැහැනියක් වුණු බාබ වැන්ගාගේ අනාවැකි ගැන ඔබ දැනන් හිටියද ?මෙන්න බලන්න

 42,938 total views

අපේ රටේ හිටපු අනාවැකිකරුවෝ කියපු ප්‍රසිද්ධම අනාවැකිවලින් එකක් තමයි 1955 අවුරුද්දේ ජූනි 20 වැනිදා ලංකාවට පූර්ණ සූර්යග්‍රහණයක් දර්ශනය වෙනවා කියපු එක. එදාට කවුරු හරි ගහක් හිටෙව්වොත් සිය ගුණයකින් පලදාව ලැබෙනවාය, කාන්‍තා උදවියගේ මූණේ වද කහ ආලේප කළොත් සම පැහැපත් වෙනවාය කියලත් මේ අනාවැකිකරුවෝ කිව්වා. ඉතින් ඔය දෙවැනි කතාව නිසා අපේ බවලතියෝ හිටියේ මේ කියපු සූර්යග්‍රහණය එන්නේ කොයි වෙලාවෙද කියලා ඇඟිලි ගැන ගැන.

කොහොමින් කොහොමහරි ඒ දවස උදාවුණා. එදා පිරිමි උදවිය හිටියේ පොල් පැළ, කොස් පැළ එහෙම අතේ තියාගෙන. ඒත් ගෑනු උදවිය නම් හිටියේ වද කහ කෝප්ප අතේ තියාගෙන. ඉතින් ඔහොම ඉන්න අතරේ ජූනි 19 වැනිදා ලංකාවේ ජාතික පුවත්පතක් ප්‍රධාන සිරස්තලය සහිතව තවත් අනාවැකියක් කරළියට අරගෙන ආවා. ඒ තමයි අර මූණේ ගාන්න තියාගෙන ඉඳපු වද කහ බිව්වොත් පංච කල්‍යාණයෙන් අගතැන්පත් රූපයක් ලැබෙනවය කියලා. ඉතින් අපේ උන්දැලත් මොකද කළේ, සූර්යග්‍රහණය වෙලාවේ වද කහ මුට්ටි පිටින් බොන්න පටන් ගත්තා. ඒ වැඩිපුර ලස්සන වෙන්න හිතාගෙන. ඒත් අන්තිමට සිද්ධ වුණේ ඒ අයට අධිකව වමනේ ගිහින් කෙළින් කටින් ඉන්න බැරිව ඉස්පිරිතාල වල ලගින්න වුණු එක. අර ‘බිව්වා නේද වද කහ සුදිය’ කියන සිංදුව හැදුනෙත් ඔය සිද්ධිය නිසා කියනවනේ. ඉතින් ඔය වද කහ අනාවැකිය මතක් වුණේ මේ ලියන්න යන්නෙත් අනාවැකි කියපු කාන්තාවක් ගැන හින්දා. හැබැයි ඉතින් ඇය කියපු අනාවැකි නම් වද කහ අනාවැකි වගේ බොරු වෙලා නෑ ඕං.

ඇය තමයි බල්ගේරියානු ජාතික බෝල්කන් නොස්ට‍්‍රඩාමුස්. හැබැයි ලෝකයම ඇයව දන්නේ ‘බාබ වැන්ගා’ කිව්වම. බාබ වැන්ගා ඉපදුණේ 1911 ජනවාරි 31 වැනිදා. ඉපදිලා ටික දවසකින් ඇගේ මව මියගියා. ඒක නිසා පුංචි කාලේ ඉඳන්ම ඇය හැදුනේ වැඩුනේ මව් සෙනෙහස අහිමිවුණු දැරියක් විදියට. දවසක් බාබ වැන්ගා ගෙදර මිදුලේ සෙල්ලම් කරමින් ඉන්නකොට ඇය ටොනේඩෝවකට අහුවුණා. ඒක කොච්චර භයානක ටොනේඩෝවක්ද කිව්වොත් දූවිලි වලා අස්සෙන් ගෙවල්වල උදවියට කෙල්ලව හොයාගන්න ලැබුණේ දවස් කීපයකට පස්සේ. හැබැයි ඒ සාමාන්‍ය දැරියක් විදියට නෙවෙයි, ඇස් දෙකම අන්ධ වුණු දැරියක් විදියට.

කතාවක් තියෙනවනේ හැම අඳුරු වලාවකම රිදී රේඛාවක් තියෙනවා කියලා. අන්න ඒ වගේ දෙයක් එදා බාබ වැන්ගගේ ජීවිතෙත් සිද්ධවුණා. ඒ තමයි අන්ධවීමත් එක්ක ඇයට අනාගතය ගැන අනාවැකි කියන්න අපූරු වරමක් ලැබුණා. ඊටපස්සේ ඇය ලෝක ප්‍රසිද්ධ චරිතයක් වුණා. කොච්චර ප්‍රසිද්ධ වුණාද කිව්වොත් එවකට පැවති දෙවැනි ලෝක යුද සමයේදි ඇගෙන් අනාවැකි අහන්න මිනිස්සු වැල නොකැඩී ආවා. ඒ විතරක් නෙවෙයි 1942 වසරේදී බාබ වැන්ගා මුණගැහෙන්න බල්ගේරියානු තුන්වැනි බොරිස් සාර්තුමාත් ඇවිත් තියෙනවා. ඒ වෙලාවේ තමයි බාබ වැන්ගා කියලා තියෙන්නේ තමන්ට අනාවැකි කියන්න ලැබුණු වරම පිටිපස්සේ නොපෙනෙන බලවේගයක් තියෙන බව.

‘Wiesler Field to the Paranormal’ කියන ග්‍රන්ථයේ සඳහන් විදියට ඇය කියපු අනාවැකි බොහෝ ප්‍රමාණයක් හරියටම හරි ගියා. ඒ අතර 2011 අවුරුද්දේ ඇමෙරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වුණු ප‍්‍රහාරය, ISIS ත‍්‍රස්ත කණ්ඩායමේ බිහිවීම ගැන ඇය පළ කළ අනාවැකි සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම ඇය කියපු අනාවැකි අතරින් 2004 වසරේදී ඇතිවුණු සුනාමි ව්‍යසනය, 2000 වසරේදී මුහුදුබත් වූ රුසියානු කර්ස්ක් සබ්මැරීනය වගේම සෝවියට් සමූහාණ්ඩුවේ බිඳ වැටීම සහ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාර අනතුර වගේ අනාවැකි සියල්ලම 100%ක්ම හරි ගියා.

බාබ වැන්ගාගේ අනාවැකි කියන විදියෙත් පුංචි වෙනසක් තිබුණා. ඇය කියපු කිසිම අනාවැකියක් ඍජුව කියලා නෑ. කියලා තියෙන්නේ වක්‍රාකාරව. හොඳම උදාහරණය තමයි 2011 අවුරුද්දේ ඇමෙරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වුණු ප‍්‍රහාරය ගැන ඇය කියපු අනාවැකිය. ඇය ඒ අනාවැකිය කියලා තිබුණේ 1989 වසරේ. ඒ ‘යෝධ යකඩ කුරුල්ලෙක් විසින් ඇමෙරිකාවේ නමගිය නිවුන් සොයුරන් දෙදෙනකු (Twin Tower) බිම හෙළනු ඇත’ යනුවෙන්.

1994 වසරේ පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය ගැන ඇය කියපු අනාවැකිය අදටත් පාපන්දු ලෝකයේ කතාබහට ලක්වෙන අනාවැකියක්. එදා අවසන් මහා තරඟය සඳහා ඉංග්‍රීසි ‘බී’ (B) අකුරින් ආරම්භ වෙන රටවල් දෙකක් සුදුසුකම් ලබන බවත් එවකට ප‍්‍රබල කණ්ඩායමක් විදියට හිටපු ඉතාලි කණ්ඩායම අවසන් පූර්ව වටයේදී පරාජයට පත්වෙන බවත් ඇය පැවසුවා. ඇය කියපු විදියටම එවර ඉතාලිය අවසන් පූර්ව වටයේදී පරාජයට පත්වුණා. ඒ වගේම අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබුවේ ඉංග්‍රීසි ‘බී’ (B) අකුරින් ආරම්භ වෙන බ‍්‍රසීලය සහ බාබ වැන්ගා ජීවත් වූ බල්ගේරියාව. මේ අතර ඇය කියපු තව ප්‍රබල අනාවැකියක් වුණේ 44 වැනි ඇමෙරිකා ජනාධිපතිවරයා ගැන කියපු අනාවැකිය. ඇය කිව්වේ ඇමෙරිකාවේ 44 වැනි ජනාධිපති වෙන්නේ කළු ජාතිකයෙක් කියලා. කියපු විදියටම එවර ඇමෙරිකාවේ ජනාධිපති පුටුවේ ඉඳගත්තේ කළු ජාතිකයෙක් වුණු බැරැක් ඔබාමා.

බාබ වැන්ගාගේ ප්‍රබල අනාවැකි අතර 2004 දෙසැම්බර් මස 26 වැනිදා ලංකාවට බලපෑ සුනාමි උවදුරත් සඳහන් වුණා. ඒ වගේම කවුරු කොහොම කිව්වත් 51 වැනි සියවස උදාවෙන කල්ම ලෝක විනාශයක් වෙන්නේ නෑ කියලත් ඇගේ එක්තරා අනාවැකියක සඳහන්වෙනවා. ඇය කියන විදිහට ලෝක විනාශයක් වෙනවා නම් වෙන්නේ 5079 අවුරුද්දෙලු. මේ අතර බාබ වැන්ගා තමන්ගේ මරණය සිද්ධවෙන දිනය ගැනත් අනාවැකියක් කියාගෙන තිබුණා. එදා මුළු ලෝකයක් පුදුම කරලා කියපු දිනයේ (1996 අගෝස්තු 11 වැනිදා) ඒ විදියටම ඇය මියගියා. මේ අතර 1994 අවුරුද්දේ ඇනටොලි ලුබ්චෙන්කෝ කියන එරටේ ව්‍යාපාරිකයෙක් මුණගැහුනු වෙලාවක බාබ වැන්ගා ඔහුටත් ලෝකය ගැන භයානක අනාවැකියක් කියලා තියනවා. ඒ තමයි 2024 – 2034 කාලසීමාවෙදි ලෝකයේ මහා ජලගැලීමක් සිද්ධවෙලා රටවල් කීපයක්ම හෝදගෙන යනවා කියන එක. ඒක එහෙම වෙනවද කියලා ජීවතුන් අතර හිටියොත් අපිටත් බලාගන්න පුළුවන්.

මේ අතර ඉදිරි වසර දෙක තුන ඇතුළත ලොව පුරාම මිනිස් ජීවිත දහස් ගණනින් බිලිගන්න පිළිකා රෝගයට ප්‍රතිකාරයක් සොයාගන්නවා කියලා බාබ වැන්ගගේ අනාවැකියක තියෙනවා. ඇය ඒක කියලා තියෙන්නේ ‘පිළිකාව යකඩ දම්වැල්වලින් බැඳ දමන දිනය ඉදිරියේදී පැමිණේවි’ යනුවෙන්.

2021 අවුරුද්ද ලෝකය විශාල ව්‍යසනයකට මුහුණපාන අවුරුද්දක් වෙනවා කියලා මුලින්ම අනාවැකියක් පළකළෙත් බාබ වැන්ගා. පස්සේ තමයි ඇය ඒ කිව්වේ කොරෝනා වසංගතය ගැන කියලා ලෝකයට පැහැදිලි වුණේ. තවද ලෝකයේ බලය විශාල මකරෙකු විසින් අල්ලගන්න බවත් ඊට එරෙහිව යෝධයින් තිදෙනෙකු නැගී සිටින බවත් ඇයගේ අනාවැකියක සඳහන්. ඇය කියන මකරා ‘චීනය’ කියලා නම් දැනටමත් පැහැදිලි වෙලා ඉවරයි. මේ අතරේ බාබ වැන්ගගේ සමහර අනාවැකි අසත්‍ය වෙලා ගිය අවස්ථාත් නැතුවම නෙවෙයි. ඒකට හොඳම උදාහරණයක් 2020 වසරේදී රුසියානු ජනාධිපතිවරයා ඝාතනය වෙනවා කියපු අනාවැකිය.

කොහොම වුණත් මේ දිනවල ඇගේ තවත් ප්‍රබල අනාවැකි කීපයක් කරළියට ඇවිත්. ඉදිරියේදි චීනය ලොව බලවත්ම රටවීමත්, 2025 – 2028 කාලය තුළදී නව බලශක්ති මූලයක් නිර්මාණයවීමත්, 2033 – 2045 කාලය තුළ යුරෝපයේ මුස්ලිම් පාලනයක් ඇරඹීමත්, 2049 – 2070 කාලය තුළ ශරීර ඉන්ද්‍රිය නිෂ්පාදනයත්, 2088 – 2167 කාලය තුළ ලෝකය තුළ භයානක නව රෝගයක් ව්‍යාප්තවීමත්, 2170 – 2259 කාලය තුළ දැඩි නියඟයක් උදාවීමත්, 2262 – 2304 කාලය තුළ පැරණි අභ්‍යාවකාශ මධ්‍යස්ථාන සහ චන්ද්‍රිකා ආදිය කඩාවැටීමක් මෙන්ම 2341 – 3805 කාලය තුළ අහසින් කිසියම් භයානය වූ දෙයක් පෘථිවියට පැමිණීමත් ඒ හරහා පෘථිවිය වටා දූවිලි කලාපයක් නිර්මාණයවීමත් තමයි ඒ අනාවැකි. දැන් ලෝකයම බලන් ඉන්නේ මේ අනාවැකි දිහා. ඒ මොකද ලෝකේ කොච්චර අනාවැකිකාරයෝ බිහිවුණත් අදටත් ලෝකෙම පිළිගන්නේ අන්ධ ගැහැනියක් වුණු බාබ වැන්ගාගේ අනාවැකි විතරයි.

රුවන් එස්.සෙනවිරත්න

උපුටාගැනීම – ධරණී