September 20, 2024

Fly TV

Space of free media

ලක්ෂ කියක් දුන්නත් මම ඇඟ පෙන්න කොටට නම් අඳින්නේ නෑ.ශලනි ප්‍රනාන්දු

 109,083 total views

දෙවෙනි ඉනිම’ ටෙලිනාට්‍යය ලංකාවේ ජනප්‍රිය ටෙලිනාට්‍යකි. එහි එක් චරිතයට චුටි මැණිකේ පන පොවන්නේ වර්තමානයේ ජනප්‍රිය නිලියක් වන ශලිනි ප්‍රනාන්දු විසිනි. ඇය කළා ලෝකයට පිවිසෙන්නේ 2017 වසරේදී ඒ දෙරණ අවුරුදු කුමරියට පිවිසුනාට පස්සේ. ඉන්පසුව තමයි ඇය ‘දෙවෙනි ඉනිම’ ටෙලිනාට්‍යට සම්බන්ද වෙන්නේ.ඉතින් මේ දිනවල චූටි මැණිකේ පුංචි තිරයේ මුණ ගැහෙන නවතම ටෙලි සිත්තම ‘‘ලොක්කි’’ ඇයගේ රංගන ජීවිතේ ඇයට ලැබුණු සුවිශේෂි අවස්ථාවක්. ආදරය, සෙනෙහස, සහෝදරත්වය සමග ජීවිතය දිනන්න වෙර දරන ‘‘ලොක්කි’’ ගැන ශලිනි ප්‍රනාන්දු පුවත් පතකට අදහස් පල කර තිබුනේ මේ අයුරින්.

තාමත් චූටි මැණිකෙට එදා වගේම ආදරය ප්‍රතිචාර ලැබෙනව ද?
ඇත්තටම වසර හතරක විතර කාලයක් චූටි මැණිකෙට නොවෙනස්ව ප්‍රේක්ෂකයෝ ආදරය කළා. එදා චූටි මැණිකෙට ලැබුණු ආදරය, ප්‍රතිචාරය මෙච්චරයි කියලා මට වචනයෙන් කියලා නිමකරන්න බැහැ. විශාල ප්‍රේක්ෂක ආදරයක් ලැබුණා. විශේෂයෙන් සමන් එදිරිමුණි අයියව ආදරෙන් මතක් කරනවා. මම ක්ෂේත්‍රයට එන්නේ සමන් අයියා අතින් ලියවුණු ලස්සන ගැමි පරිසරයක සැදුණු ලිහිණි (චූටි මැණිකේ) කියන චරිතය එක්ක.ඇත්තටම නම් මේ දවස්වල නම් දෙවෙනි ඉනිමේ චූටි මැණිකෙට ප්‍රේක්ෂකයෝ ටිකක් බනිනවා. චූටි මැණිකෙට එදා ලැබුණු ආදරේ දැන් ටිකක් අඩු වෙලා කියලා හිතෙනවා.

 

දැන් අපිට ඔබව අලුත් චරිතයකින් දැක ගැනීමට ලැබෙනවා ඒ ගැනත් කියමුද?
ලොක්කි’’ කියන්නේ මම දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයෙන් පස්සේ ප්‍රධාන චරිතයක් රඟපාන දෙවෙනි අවස්ථාව. ලොක්කි ටෙලි නාට්‍යයට ආරාධනා ලැබෙන්නේ දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයට ආරාධනා ලැබුණු විදිහටමයි. දෙරනේ ලක්සිරි සර් තමයි මට ආරාධනා කළේ. ගොඩක් සතුටුයි ලක්සිරි සර් හරහා ටෙලිනාට්‍ය දෙකටම සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණ එකට.පිටපත අතට දෙනකොටම කිව්වා මේක ප්‍රධාන චරිතයක්. ඇය වටා තමයි කතාව ගෙතෙන්නේ කියලා. ඇත්තටම ලක්සිරි සර් මේ චරිතයට මාව තෝරගෙන ටෙලිනාට්‍ය පිටපත අතට දුන්නම මට ලොකු බයක් දැනුනා. මේ චරිතය මට කරන්න පුළුවන් වේවිද කියන බය ආවා. මොකද මම අවුරුදු 4ක්ම ලිහිණි වෙලා. ලොක්කිගෙනුත් ලිහිණි මතු වේවි කියලා බය හිතුණා. ලොක්කිගේ ලිහිණි මතු වුණොත් වැඩේ අසාර්ථක වෙයි කියලා හිතේ ලොකු බයක් තිබුණා.

කොහොමද ලැබෙන ප්‍රතිචාර ලොක්කිට?
හිතුවෙත් නැති විදිහට ලොක්කිට ප්‍රතිචාර ලැබෙන්න පටන් ගත්තේ. ටෙලි නාට්‍ය පටන් ගන්නත් කලින් ඉඳලා පූර්ව ප්‍රචාරක හරහා ලොක්කි මුණ ගැහෙන්නේ කොටස් 14ක පොඩි කාලයක් වුණත් ලොක්කි ඇතුළේ මට කරන්න ගොඩාක් දේවල් තිබුණා.(ලොක්කි) සමාධි කියන චරිතය මට විශේෂයි. ඇත්තටම ලොක්කි කියන්නේ මට මුණ ගැහුණු අභියෝගයක්. ලොක්කි කියන්නේ වෙනස්ම චරිතයක්. මහා වගකීම් ගොඩක් මැද්දේ හිරවෙලා ඉන්න, තමන්ගේ ආදරය ඇස් පනාපිටම සින්න වෙලා යනවා බලා ඉන්න සිද්ධ වෙන, අසරණකම් අභියෝග සියල්ලම දරාගෙන ලොක්කි ප්‍රේමයක් හිත තුළම රඳවාගෙන පවුල වෙනුවෙන් දිවි ගමනේ දියුණුවේ මංපෙතට ගමන් කරනවා. බොහෝ බාධක පැමිණෙනවා. ඒත් ලොක්කි ඒකට නොසැලෙන යෞවනියක්.

ශලිනිට අපි ඔබව සිනමාව හරහා තාම දුටුවේ නෑ,සිනමාවෙන් ඉල්ලුම අඩු ද?
එහෙම අඩුවක් නැහැ. මට සිනමා නිර්මාණවලට ගොඩක් ආරාධනා ලැබෙනවා. ඒත් සමහර නිර්මාණවලට කතා කරද්දි අඳින්න තියෙන ඇඳුම් සම්බන්ධයෙන් ඇතිවෙන ගැටලු නිසා මම ගොඩක් නිර්මාණ ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මම කොට ඇඳුම් වගේම ගොඩක් ඇඟ නිරාවරණය වෙන ඇඳුම් අඳින්න කැමති නැහැ. කොච්චර සල්ලි හම්බවුණත්, කොච්චර ජනප්‍රියත්වය ලැබුණත් මගේ සීමාවෙන් එහාට අඳින්න පළඳින්න තියෙන නිර්මාණවලට මම දායක වෙන්නේ නැහැ. ඒක මේ ක්ෂේත්‍රයට එනකොටම මම අරගෙන ආපු ප්‍රතිපත්තියක්. ඒවගේ දේවල් නිසා ගොඩක් චිත්‍රපටි ප්‍රතික්ෂේප කරන්න වුණා. බලමු ඉස්සරට හොඳ නිර්මාණයක් ලැබුණොත් කරනවා.