September 20, 2024

Fly TV

Space of free media

බොහෝමයක් ආදර සම්බන්ධතා බිඳී යන්නට හේතු වන කාරණා 5ක්

 61,273 total views

ප්‍රේම සම්බන්ධයකදී දෙදෙනාම එක්කෙනෙක් වෙනවා කියලා සම්ප්‍රධායික කියමනක් තිබුණත් ඒක ප්‍රායෝගික ජීවිතයේදී කරන්න අමාරු දෙයක්. දෙදෙනෙක් අතර ඇතිවන ගැටළු සලකා බලනවිට ඒවායේ පොදු ස්වභාවයක් දැකගන්නට පුළුවන්. එවැනි සම්බන්ධතාවන්හි ගැටළු ඇති කරගත් බොහෝමයක් අයට බලපා තියෙන්නේ මේ හේතුවලින් එකක් හෝ කිහිපයක්. ඉතින් අපි අද ඔබව දැනුවත් කිරීමට සුදානම් වන්නේ ආදර සම්බන්ධතාවයක් බිඳී යන්නට හේතු වන කාරණා පිළිබඳවයි.

1.අනවශ්‍ය ලෙස පාලනය කිරීමට යාම

සම්බන්ධතාවයක් තුළදී අනෙකාගේ නිදහස ඔබ අසීමිත ලෙස සීමා කරන්නට යනවා නම් එය සම්බන්ධතාවය පළුඳු වෙන්නට ප්‍රධාන සාධකයක් වෙනවා. එවිට ඔහු හෝ ඇය ඔබට සඟවා නිදහස භුක්ති විඳින්නට යාමට තියෙන ඉඩකඩත් බොහොම වැඩියි. එක් අයෙක් තමන්ට කැමති ආකාරයට නිදහස භුක්ති විඳිමින් අනෙකාගේ නිදහසට නීති රෙගුලාසි දැමීම කොහෙත්ම සුදුසු කාරණයක් නෙවෙයි. බොහෝ වේලාවට මෙවැනි සම්බන්ධයන් අසාර්ථක වී යනවා.

2.නිතරම සැකයෙන් තම සහකරු හෝ සහකාරීය දෙස බැලීම

සැකය කියන්නේ ප්‍රේම සම්බන්ධතාවයකට ඒ තරම් හොඳ කාරණයක් නෙවෙයි. බොහෝ විට සැකය ඇතිවන්නේ ඊර්ශ්යාවත් සමඟයි. සාධාරණ හේතු නැතිවත් නිතරම සැකයෙන් ඔහුට හෝ ඇයට අනියම් සම්බන්ධයක් ඇතැයි සිතමින් බැන වදිමින්, යන එන තැන් ගැන අනවශ්‍ය ලෙස සෙවීමට යාමෙන් අනෙකාට ඇතිවන පීඩනය නිසාම ඔහු හෝ ඇය ඔබව හැරදමා යාවී.

3.සම්බන්ධතාවයේ ඇති ඒකාකාරී බව

ඕනෑම සම්බන්ධයක් මුලින් තියෙනවා වගේ දිගටම පවතින්නේ නැති වෙන එක සාමාන්‍ය දෙයක්. ඒ නිසා හුඟක් සම්බන්ධතා හරිම ඒකාකාරීයි. නමුත් ඔබට පුළුවන් ඒ වෙනුවෙන් අලුත් අලුත් දේවල් කරලා ආදරය අලුත් කරගන්න. උදාහරණයක් විදියට කිව්වොත් රාත්‍රී හෝ දවල් ආහාරයකට අවන්හලකට යාම, චිත්‍රපටයක් බැලීමට යාම වගේ දේවල් වලින් ඔබට අනෙකාට ලංවෙන්න ඉඩකඩ හදාගන්න පුළුවන්.

4.දෙදෙනා එකිනෙකට වෙනස් බලාපොරොත්තු ඔස්සේ ගමන් කිරීම

දෙදෙනාගේ උවමනාවන් වෙනස් වූ විට විවිධ ගැටළු මතුවෙනවා. එවැනි අවස්ථාවක දෙදෙනාගෙන් එක් අයෙක් හෝ කැපකිරීම් සිදු කරමින් අවස්ථාව සමථයකට පත් කිරීමට සහය වියයුතු වෙනවා. එසේ නොකළහොත් එහි ප්‍රතිඵලය වෙන්වීමක් විය හැකියි.

5.අනෙක් පුද්ගලයන් සමඟ සංසන්දනය කිරීමට යාම.

බොහෝ විට විවාහක යුවලවල් අතර වැඩි වශයෙන් මේ ගැටළුව දක්නට ලැබෙනවා. තමාගේ බිරිඳ අනෙක් ගැහැණු අය සමඟත්, තමාගේ සැමියා අනෙක් පිරිමි අය සමඟත් සංසන්දනය කිරීමට යාම බොහෝ රණ්ඩු සරුවල් මුලපුරනවා. ලොව සිටින සියළු දෙනා එකිනෙකාට වෙනස් බව ඔබ දන්නවා. ඉතින් ඔවුන් ආදරය පෙන්වන විදියත් වෙනස්. එක් සැමියෙක් නිරන්තරයෙන් බිරිඳ සමඟ ලඟින්ම ඉදිමින් ආදරය පෙන්නුවත් තවත් සැමියෙක් ව්‍යාපාර හෝ රැකියාවට වැඩි වෙලාවක් ලබාදෙමින් දුර පළාතක එහෙමත් නැත්නම් වෙනත් රටක රැකියාවක් කරමින් තම බිරිඳට සැපවත් ජීවිතයක් ලබා දෙමින් ආදරය පෙන්වනවා වෙන්නට පුළුවන්. මේ ක්‍රම දෙකම ආදරය පෙන්වන ක්‍රම නිසා ඔබ අනෙකාව තේරුම් ගත යුතුයි.