May 19, 2024

Fly TV

Space of free media

සැමියා ගැන මේ දේවල් කවදාවත් අනෙක් අයට කියන්න එපා

 52,822 total views

ගැහැණු අය යාලුවෙක් එක්ක එකතු වුණාම තොරතෝංචියක් නැතුව කියවනවනේ. එහෙම වුණාම කියන්න ඕන මොනවද, එපා මොනවද කියලත් අමතක වෙනවා. ඔබ මුළු දවසම ඉන්නේ සැමියා එක්ක නිසා ගොඩක් වෙලාවට ඔබගේ ප්‍රධාන මාතෘකාව ඔහු වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවක ඔහු ගැන වැරදීමකින් හරි, නොසිතා හරි වැරදි දෙයක් කිය වුණොත් ඒක ඔබේ විවාහ ජීවිතේට ලොකු ගැටළුවක් ඇති කරන දෙයක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා මේ කරුණු ඔබේ සැමියා ගැන අන් අයට නොකියා හිටියොත් ඔබටත් ඔබේ විවාහ ජීවිතයේ ගැටළු අවම කරගන්න පුළුවන් වෙනවා.

1.ඔබේ පවුලේ අය සමඟ ඇති ආරවුල්

සැමියා ඔබේ පවුලේ අය සමඟ ආරවුල් ඇති කරගෙන අමනාපයෙන් ඉන්නවා නම් ඔබට තරම් ඔහුට ඒවා විසඳා ගැනීමට ඕනෑකමක් නැති වෙන්නට පුළුවන්. ඒත් ගොඩක් ගැහැණු අය කරන වරදක් තමයි ඒ ගැන යහළුවන් එක්ක කියලා එයාලගේ දුක, තරහ තුනී කරගන්න උත්සහ කරන එක. නැත්නම් ඒවා විසඳා ගන්න යහළුවන්ගේ සහය පතන එක. එමඟින් යහළුවන්ද එයට මැදිහත් වෙන්නට ගියොත් ප්‍රශ්න තව තවත් දුර දිග යන්නට තියෙන ඉඩකඩ බොහොම වැඩියි. සැමියාට එය තනිවම විසඳා ගන්නට ඉඩදෙන්න. ඔහුගේ ක්‍රියා පිළිවෙල ඔබට වඩා වෙනස් වෙන්නට පුලුවන්. ඒ නිසා එයට ගරු කරන්න. එයින් ඔබගේ සම්බන්ධතාවයද ශක්තිමත් වේවි.

2.සැමියා අතීතයේදී මුහුණ දුන් දුෂ්කරතා

අතීත සිදුවීම් නැවත නැවතත් මතක් කරමින් කාලය ගෙවාදමන්න බොහෝ වෙලාවට කාන්තාවන් කැමති. නමුත් සැමියාගේ අතීත සිදුවීම්, ඔහු මුහුණ දුන් ප්‍රශ්න, ඒවාට මුහුණ දුන් ආකාරය ගැන අනෙක් අය දැනගන්නවාට ඔහු අකැමති වෙන්නට පුළුවන්. ඒ වගේම ඔහුගේ ගෞරවයට හානි වෙන බවක් ඔහුට දැනෙන්නත්  පුළුවන්. ඒ නිසා එවැනි දේවල් අනෙක් අයට පැවසීමෙන් වළකින්නට ඔබ වගබලා ගන්න. විශේෂයෙන්ම ඔහුව දැනුවත් නොකර ඔහුගේ අතීතය ගැන කාටවත් කියන්න එපා. අවශ්‍ය නම් ඔහු ලවාම ඒ ගැන අනෙක් අයට කියවන්න. ඔහු අමාරු අවස්ථාවන්ට මුහුණ දුන් ආකාරයන් අනෙක් අයට කීමට තරම් ඔහුව දිරිමත් කරන්න. එයින් ඔබ ඔහුව අගය කරන බවක් ඔහුට දැනේවී.

3.ඔහුගේ අඩුපාඩු ගැන යහළුවන්ට කියන්න එපා

ඔබේ සැමියා ඇතැම් විට හිතුවක්කාර විය හැකියි, එකඟතාවයට එන්නට අපහසු වෙන්න විය හැකියි, පවුල වෙනුවෙන් ඔහුගේ අවධානය මදි විය හැකියි. එහෙනම් ඔබ ඒ පිලිබඳ පළමුවෙන්ම ඔහු සමඟ කතා කරන්න. නමුත් බොහෝ කාන්තාවන් කරන වැරද්දක් තමයි මේ දේවල් ගැන මුලින්ම යහළුවන්ට, හිතවතුන්ට කියන එක. අනෙක් කරුණ නම් ඇතැම් විට එහිදී වැරැද්ද සැමියා අතේ නොවෙන්නටත් පුළුවන්. ඔබට නිකරුනේ ඔහුගේ වැරදි පෙනෙන්නට පුළුවන්. එවැනි අවස්ථාවක ඔබ මනෝවිද්‍යා උපදේශකවරයෙක් සඳහා යොමුවීම වඩා යෝග්‍යයි.

4.ඔහුගේ ආදායම අඩු නම් ඒ ගැන සහ ඔහුට කළ නොහැකි දේවල් ගැන කියන්න එපා

කිසියම් හේතුවක් නිසා ඔබේ සැමියා රැකියාවේ එතරම් සාර්ථක අයෙක් නොවෙන්නට පුළුවන්. ඊට සාපේක්ෂව ඔහුට උසස් වීම්, හොඳ ආදායමක් නොලැබෙන්නට පුළුවන්. ඉතින් ඒ පිළිබඳව ඔබ සාකච්ඡාකළ යුත්තේ සැමියා සමඟ මිස යහළුවන් හා හිතවතුන් සමඟ නොවෙයි. ඇතැම් විට ඔහු තමාට නොගැළපෙන හෝ ඔහු අකමැති ක්ෂේත්‍රයක නියැලෙනවා වෙන්නටත් පුළුවන්. ඒ නිසා ඔබ ඔහුට නව අවස්ථා සොයා ගැනීමට හා ඒ වෙනුවෙන් උත්සහ කිරීම සඳහා සහය වෙන්න.

5.ඔහුගේ ඔබ අකමැති කරදරකාරී හැසිරීම් ගැන කියන්න එපා

දෙදෙනෙකුට එකම හැසිරීම් පිහිටන්නේ බොහොම කලාතුරකින්. ඉතින් සැමියාට බොහෝ දුරට ඔබට වඩා වෙනත් හැසිරීම් තියෙන්න පුළුවන්. ඔබ පිළිවෙල ගැන සිතුවත් ඔහුගේ ඇති කාර්ය බහුලත්වය නිසා හෝ වෙනයම් හේතුවක් නිසා ඔහු ඒ ගැන නොසිතන්නට පුළුවන්. හරියට ඇඳුම්, සපත්තු වගේ දේවල් එක එක තැන දානවා වගේ. ඉතින් ඔහුගේ ඒ පුරුදු ඇතිවෙලා තියෙන්නේ පවුලේ අයගෙන් යැයි සිතමින් ඔහු හා පවුලේ අය ගැන කේන්තියෙන් යාළුවන්ට, හිතවතුන්ට ඒවා කිව්වාට වැඩක් නැහැ. එයින් සිද්ධ වෙන්නේ ඔබේ පවුලේ විස්තර අනෙක් අය දැනගැනීම පමණයි. ඒවා සැමියා එක්ක කතා කරන්න. සමහරවිට කාලයත් සමඟ ඔහු ඒ දේවල් පිළිවෙලකට හදාගනීවි.