September 20, 2024

Fly TV

Space of free media

කාන්තා ඔබ සුදයාමේ රෝගය හංගා‍ගෙන ඉන්න එපා

 17,836 total views

යෝනි ප්‍රදේශයේ නිතර සබන් ගා සේදීමෙන් ඇතිවන පී.එච් අගයේ වෙනස නිසා බැක්ටීරියා සමතුලිතතාව බිඳ වැටීම, විවිධ සුවඳ විලවුන් හා විෂබීජ නාශක යොදා යෝනිය පිරිසිදු කිරීම, විවිධ ආසාත්මිකතා ඇති  කාන්තාවන්, විශේෂයෙන්ම තද පැහැ යට ඇඳුම් භාවිතය හා විවිධ පලදනා ද කාන්තාවන්ගේ සුදයාම රෝගය සෑදීමේ ප්‍රවණතාව වැඩි කරන සාධක අතර වේ

ඇතැම් කාන්තාවන් වෛද්‍ය නිර්දේශයකින් තොරව සුදයාම වළක්වා ගැනීමට විවිධ ඖෂධ ආලේපන භාවිතයට ගනී. වෛද්‍යවරුන් පවසන්නේ කිසිදු අවස්ථාවක වෛද්‍ය නිර්දේශයකින් තොරව එවැනි දෑ භාවිතයට ගැනීමෙන් වළකින ලෙසයි.

කාන්තාවන් ඇතැම් විට තමන්ගේ වේදනා, පීඩාවන් සඟවා ගෙන දීර්ඝ කාලීනව පීඩාවට පතවන අවස්ථා එමටය. මෙයට හේතුව නොදැනුවත්කම සහ වෛද්‍ය සාකච්ඡාවකට ඉදිරිපත්වීමට ඇති අනවශ්‍ය ලැජ්ජාවයි. මෙමඟින් පසුකාලීනව මෙම රෝග දරුණු තත්ත්වයන්ට පත්වීමට මෙන්ම විවිධ සංකූලතාවන්ට ගොදුරුවීමට ඉඩකඩ ඇත. ඔබ නියපොත්තෙන් කඩන්න පුළුවන් දෑ පොරවෙන් කපන්න වෙනකන් ඇයි බලන් ඉන්නේ.

ඒ නිසා ඔබ කියන්නට මැළිවෙන මේ ලිංගික සෞඛ්‍ය ගැන ඔබව දැනුවත් කරන්න අපි සිතුවෙමු. මෙවර සිළුමිණ රසඳුන වෛද්‍ය හමුවෙන් ඔබට ගෙන එන්නේ කාන්තාවන්ට වැදගත් විශේෂ මාතෘකාවක් ගැනයි. ඒ සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලේ ලිංගික සෞඛ්‍යය සහ එච්. අයි. වී ඒඩ්ස් පිළිබඳ විශේෂඥ වෛද්‍ය චිත්‍රාන් හතුරුසිංහ වෛද්‍යතුමන් සමඟ කළ කතාබහයි මේ.

වර්තමානයේ කාන්තාවන් අතර බහුල රෝගයක් ලෙස සුදයාම නැතිනම් කැන්ඩිඩා දිලීර ආසාදනය හඳුනාගත හැකිය. මෙය කාන්තාවන් කායිකව මෙන්ම මානසිකව ද පීඩනයට ලක් කරයි. සුද යාම සිදුවනුයේ අප ශරීරයේ සහජීවීව ජීවත්වන කැන්ඩිඩා දිලීරය හා ශරීරයත් අතර සමතුලිතතාව බිඳ වැටීම මඟිනි. බොහෝ විට කැන්ඩිඩා ඇල්බිඩන්ස් නැමති දිලීර විශේෂය 90% කට පමණ කාන්තාවන්ට සුද යාමට හේතු වන දිලීර විශේෂය වේ.

මෙම රෝගයට ගොදුරු වීමට වැඩි අවදානමක් ඇති හේතු සාධක ද එක් එක් රෝගියාට අනුව වෙනස් වේ. එනම් ඒ පොදු හේතු සාධක පිළිබඳව කාන්තා ඔබ දැනුම්වත්ව සිටීම ඉතා වැදගත්.

ඒ අනුව පෞද්ගලික සංස්ථාවේ ගැටලු, ශරීරයේ ස්වභාවික හෝමෝන ක්‍රියාකාරීත්වයේ වෙනස්කම්, පාලනයක් නැති දියවැඩියාව, තයිරොයිඩ් ඌණතා, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇති යම් යම් ගැටලු, නිතර ලිංගික සබඳතා වල යෙදීමෙන් ඇතිවන සියුම් තුවාල, උපත් පාලන පෙති ගැනීම (OCP),ස්වභාවික හෝමෝන චක්‍රයේ සිදුවන වෙනස්කම් (ඊස්ටජන් හෝමෝනයේ ක්‍රියාකාරීත්වය) නිසා ඔසප් චක්‍රයේ මැද සිට අග දක්වා කාලය, ගර්භණී සමයේ මැද සිට අග දක්වා කැන්ඩිඩයසියාව හෙවත් සුදයාම බහුලව අත්විදීමට ලැබේ.

එමෙන්ම නිදන්ගත රෝග (වකුගඩු රෝග, HIV,පිළිකා), පෝෂණය දුර්වල කාන්තාවන්ද සුදයාමේ රෝගයට බහුලව ගොදුරු වේ.

මීට අමතරව යෝනි ප්‍රදේශයේ නිතර සබන් ගා සේදීමෙන් ඇතිවන පී.එච් අගයේ වෙනස නිසා බැක්ටීරියා සමතුලිතතාව බිඳ වැටීම, විවිධ සුවඳ විලවුන් හා විෂබීජ නාශක යොදා යෝනිය පිරිසිදු කිරීම, විවිධ ආසාත්මිකතා ඇති කාන්තාවන්, විශේෂයෙන්ම තද පැහැයට ඇඳුම් භාවිතය හා විවිධ පලඳනා ද කාන්තාවන්ගේ සුදයාම රෝගය සෑදීමේ ප්‍රවණතාව වැඩි කරන සාධක අතර වේ.

එනම් කාන්තාවන් මේ රෝගයෙන් වැළකී සිටීමට නම් ප්‍රථමයෙන් ඒ රෝග ලක්ෂණ හඳුනා ගැනීමට සමත් විය යුතුය.

• කැසීමක් ඇති වීම.

• යෝනි ප්‍රදේශයේ තද රතු පැහැවීම. එහෙනම් ඇතැම්විට ගුදමාර්ගයේ අවට ප්‍රදේශයටද කැන්ඩිඩා ආසාදනය පැතිරිය හැකිය. උග්‍ර අවස්ථාවේ එක් විශාල කේන්ද්‍රීය ආසාදනයක් වටා කුඩා ආසාදන රාශියක් ගොනු වී ඇති අවස්ථා දැකිය හැකිය

(Satellite Lesions).

• කැබලි සහිත සුදු පැහැ ශ්‍රාවයක් පිටවීම (කිරි හට්ටියක ඉතිරි වන කිරි කැබලි වලට සමාන පෙනුමක් ඇත).

• මුත්‍රා පිට කරන විට බාහිරින් දැවිල්ලක් ඇතිවීම.

• ලිංගික සබඳතාවලදී වේදනාවක් දැනීම.

ඉහත ලක්ෂණ පිළිබඳ හොඳින් නිරීක්ෂණය කරන්න. මූලික සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපැදීමෙන් සහනයක් නොලැබේ නම් සහ ඔබගේ දෛනික ජීව­ිතයට බාධාවක් ඇත්නම් එය ඔබගේ මානසික සෞඛ්‍යට ද පීඩාවක් ගෙන දේ නම් පමණක් ඔබ ලිංගික සෞඛ්‍යය පිළිබද විශේෂඥ වෛද්‍යවරයකු කරා යොමුවන්න. එවිට අවශ්‍යතාවන් අනුව වෛද්‍යවරුන් විසින් ඔබව පරික්ෂාවට ලක් කරයි. අවශ්‍ය වුවහොත් වැඩි දුරටත් පරික්ෂා කරලීමට විවිධ සුළු පරීක්ෂණ සිදු කරයි. යෝනි ප්‍රදේශයේ නිශ්චිත ප්‍රදේශවලින් සාම්පල් ගෙන (Vaginal Smears)අන්වීක්ෂයෙන් නිරීක්ෂණ කොට රෝගය හඳුනා ගැනීම ඉන් එකකි. එමෙන්ම රෝගය වළක්වා ගැනීමට හා වර්ධනය අවම කිරීමටද විවිධ ඖෂධ ප්‍රතිකාර ලබා දෙයි.

එහිදී අලේපන වර්ග මෙන්ම ඖෂධ නියමිත මාත්‍රාවකට අනුව රෝගියාට ලබා දේ. විශේෂයෙන්ම ඇතැම් කාන්තාවන් වෛද්‍ය නිර්දේශයකින් තොරව මේ සුදයාම වළක්වා ගැනීමට විවිධ ඖෂධ ආලේපන භාවිතයට ගනී. වෛද්‍යවරුන් පවසන්නේ කිසිදු අවස්ථාවක වෛද්‍ය නිර්දේශයකින් තොරව එවැනි දෑ භාවිතයට ගැනීමෙන් වළකින ලෙසය.

නිසි වෛද්‍ය උපදෙස් පිළිපැදීමෙන් කාන්තාවන්ට මේ සුදයාමේ රෝගය පහසුවෙන් පාලනය කර ගැනීමට අවස්ථාව ඇත. ඒ වගේම සුදයාම රෝගය හඳුනා ගැනීම තවත් රෝග හඳුනා ගැනීමට උපකාර වීමත් මේ රෝගයෙන් අපට ලැබෙන වාසිගෙන දෙන අවස්ථාවකි. නිවැරදි අවස්ථාවෙදිම රෝගය හඳුනාගෙන මුල් අවස්ථාවෙදීම පාලනය කර ගැනීම ඔබේ කායික මෙන්ම මානසික සහනයක් ගෙන දේ.

එසේ නම් සුදයාම අවම කර ගැනීම සඳහා අවශ්‍ය කරුණු දැන සිටීම ඉතා වැදගත්. පළමුව කාන්තාවක් ලෙස ඔබ ලිංගික සෞඛ්‍යයේ මූලික කරුණු පිළිබඳ දැන සිටීම වැදගත්. (කාන්තාවක් වැඩි වියට පත් වීම, හෝර්මෝන වෙනස්කම්), දියවැඩියාව පාලනය කිරීම, ඔබට ඇති නිදන්ගත රෝග හෝ වෙනත් රෝග පිළිබඳ දැනුම්වත්ව සිටීම, වයස අවුරුදු 30- 35ට වැඩි නම් ඕනෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සායනයකින් පැප් පරීක්ෂණක් සිදු කර ගැනීමට හැකිය.

පහත වෛද්‍ය උපදෙස් පිළිපැදීමෙන් කැන්ඩිඩා ඩයෝසිස් හෙවත් සුදයෑම බොහෝ දුරට පාලනය කරගත හැකිය.

ඒ අනුව යෝනි ප්‍රදේශය නිතර නිතර සබන් හෝ විෂබීජ නාශක යොදා පිරිසිදු කිරීමෙන් වළකින්න. සීත ජලයෙන් පමණක් යෝනි ප්‍රදේශය පිරිසිදු කර ගන්න. සුවඳ විලවුන් ආදිය හා වෙනත් ආලේපන භාවිත නොකරන්න. යට ඇඳුම් පිරිසිදුව තබා ගන්න. එහිදී සබන් දා හොඳින් සෝදා තද අව්වේ වේලා අයන් කර ගන්න. ශ්‍රී ලංකාවේ පවතින දේශගුණය හේතුවෙන් කාන්තාවන් එම යට ඇඳුම් භාවිතයෙදී වඩා සුදුසු වනුයේ සුදු කපු රෙදි භාවිතයට පුරුදු වීමයි.

සුදු නොමැතිම නම් ළා පැහැ කපු රෙදි යොදා ගන්න. එනම් සුදයාමේ රෝගයට බිය විය යුතු නැත. කිසිවිටෙක ඔබේ මෙවැනි ලිංගික සෞඛ්‍ය ගැටලුවල වෛද්‍ය උපදෙස් ප්‍රතිකාර ගැනීමටද ලජ්ජා වීම නූතන දියුණු ලෝකයේ ඉතාම පසුගාමී තත්ත්වයක්. ඒ පසුගාමී ආකල්පවලින් මිදී, නිවැරදි අවස්ථාවෙ නිවැරදිව තම සෞඛ්‍ය ගැටලු විසඳා ගැනීමට පුරුදු වන්න.

එවිට කාන්තා ඔබේ කායික මානසික පීඩනයන් අවම කර ප්‍රීතිමත් ජීවිතයක් ගතකිරීමට ඔබට අවස්ථාව උදා වේ.