May 19, 2024

Fly TV

Space of free media

බොකෝ හරාම් කැරලිකරුවන්ගෙන් මිදී නිව්යෝක් අනාථ කඳවුරක සිට හොලිවුඩ් සිනමාව දක්වා ගිය අපුරු පොඩ්ඩාගේ කථාව

 4,370 total views

බොහෝ සංක්‍රමණික පවුල්වලට මෙන්ම, එක්සත් ජනපදයේ අලුත් ජීවිතයක් ආරම්භ කිරීම අඩෙවුමි පවුලටද පහසු කාරියක් නොවීය.

නයිජීරියාවේ බොකෝ හරාම් කැරලිකරුවන්ගෙන් ජීවිතය බේරාගැනීම පිණිස ඔවුහු ඇමෙරිකා එක්සත් ජනපදයට පලා ගියහ. නිව්යෝක් නුවර නිවාස අහිමි පුද්ගලයන්ට ලබාදෙන නිවාස පෙළක ඔවුන් සිය පළමු මාස කිහිපය ගතකළේ, ආණ්ඩුවෙන් ලබාදුන් ආහාර සලාකයෙන් සහ සහනාධාරවලින් යැපෙමිනි.

ඒ අතර පවුලේ බාල පුතා, ටනිටොලුවා (බොහෝ දෙනා ඔහු අමතන්නේ ටානි යනුවෙනි), අලුත් විනෝදාංශයක් සොයාගෙන තිබුණි; දවසේ වැඩි කාලයක් කුඩා පුතු ගතකළේ චෙස් ක්‍රීඩාකරමින්, ඒ ගැන හදාරමින් සහ පොතපත කියවමිනි.

මාස කිහිපයක් තුළ ටානි චෙස් ක්‍රීඩාවෙන් කෙතරම් ඉදිරියට පැමිණියේ ද යත්, 2019 දී ඔහු සිය වයස් ඛාණ්ඩය සඳහා නිව්යෝක් ප්‍රාන්ත චෙස් ශූරතාව දිනාගැනීමට සමත්විය

එය, ඔහුගේත් පවුලේ සියලු දෙනාගේත් ඉරණම තීන්දු කළ ජයග්‍රහණයක් විය.

‘එයාල අපිට හැමදේම දුන්නා’

ටනිටොලුවා අඩෙවුමි (Tanitoluwa Adewumi) ගේ එම ජයග්‍රහණය ලොව පුරා පුවත් සිරස්තල සැරසීය.

උන්හිටි තැන් අහිමි අනාථ පවුලක බාල වියේ දරුවෙක්, පුද්ගලික චෙස් ගුරුවරුන්ගෙන් ගුරුහරුකම් ලැබූ ඉහළ පෙළේ පාසල්වල දරුවන් සියල්ල පරදවමින් ජයග්‍රහණය කිරීම සැබවින්ම අපූරු කතාවක් විය.

එක්සත් ජනපදයේ නන් දෙසින් ටානි වෙත ආධාර, උපකාර ගලා එන්නට විය.

ඔහුගේ පාසලේ සහ ප්‍රදේශයේ චෙස් ක්‍රීඩා සමාජයේ ගුරුවරු දෙදෙනා – ෂෝන් මාටිනස් (Shawn Martinez) සහ රසල් මකොෆ්ස්කි (Russell Makofsky) සිය පන්ති ගාස්තු අය නොකළහ; ඒ අතර පවුලේ සාමාජිකයන් වෙත අදහාගත නොහැකි තරම් ආධාර ගලා ආවේය.

“එක පවුලක් මට අලුත්ම කාර් එකක් – හොන්ඩා අකොර්ඩ් එකක් – තෑගි කළා,” ටානි ගේ පියා, කයෝදෙ අඩෙවුමි (Kayode Adewumi) පවසයි.

ඒ හා සමඟම ඔවුන්ට අලුත් නිවසක් පමණක් නොව ඩොලර් ලක්ෂ ගණනක තැන්පතුවක් සහිත බැංකු ගිණුමක් ද ලැබිණ; නිව්යෝක් නුවර ඉහළම පෙළේ පුද්ගලික පාසල් තුනක් ටානි වෙත ශිෂ්‍යත්ව පිරිනැමූහ. ඔවුන්ගේ නව නිවස වෙනුවෙන් සම්පූර්ණ වසරක් සඳහා නිවාස කුලී ගෙවූයේ කවුරුන් දැයි පවුලේ කිසිවෙකුත් මේ වනතුරුම නොදනී.

ටානි ගේ දක්ෂතාව හේතුවෙන් වසරක් තුළ පවුලේ සියලු දෙනාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් විය

නයිජීරියාවේ මුද්‍රණාල හිමිකරුවෙකු වූ ටානි ගේ පියාට නිව්යෝක් නුවරදී නිසි රැකියාවක් සොයාගත නොහැකි විය.

“මම රෑ එළිවෙනකල් රෙස්ටෝරන්ට් එකක පිඟන් හේදුව. මේ ජොබ් එක මාව මරල දාවි කියල මම වයිෆ් ට කිවුව. පස්සේ මම ගෙවල් පිරිසුදු කළා,” කයෝදෙ සිහිපත් කරයි. “අන්තිමට මම ඌබර් ටැක්සියක් එලෙවුව.”

එහෙත් ටානි ගේ දක්ෂතාව හේතුවෙන් වසරක් තුළ පවුලේ සියලු දෙනාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් විය.

පියා දැන් නිව්යෝක් නුවර ප්‍රධානම පෙළේ නිවාස වෙළෙඳ සමාගමක සේවය කරයි. ඔහු පවසන්නේ, දැන් තමන්ට රැකියාවෙන් හොඳ ආදයමක් ලැබෙන බවය.

මේ අතර ටානි චෙස් ක්‍රීඩාවෙන් ඉදිරියටම ගියේය.

දස හැවිරිදි ටානි පසුගියදා එක්සත් ජනපදයේ “චෙස් මාස්ටර්” තත්ත්වය හිමිකරගත්තේය. මුළු රට පුරාම චෙස් මාස්ටර්වරුන් සිටින්නේ 28 දෙනෙකු පමණි.

ඒ අතර ඔහුගේ කතා පුවත හොලිවුඩ් සිනමා සිත්තමකට ද නිමිත්ත වී තිබේ.

චෙස් මාස්ටර් පදවියෙන් පමණක් සෑහීමට පත්වීමට ටානි සූදානම් නැත.

“මට ඕන ලෝකේ බාලම චෙස් ග්‍රෑන්ඩ් මාස්ටර් වෙන්න.”

චෙස් ක්‍රීඩකයෙකුට ලැබිය හැකි ඉහළම සම්මානය එයයි.

‘චෙස් මගේ ජීවිතේ වෙනස් කළා’


චෙස් ක්‍රීඩාවේ පිහිටෙන් ඉරණම වෙනස් වූ එකම පිරිස ටානි ගේ පවුල පමණක් නොවේ.

බ්‍රිතාන්‍යයේ වාසය කළ නව හැවිරිදි දරුවෙකුගේ චෙස් කෞශල්‍යය හේතුවෙන් ඔහුගේ පවුල රටින් පිටුවල් කිරීමෙන් බේරිණ.

චෙස් යනු වියදම් අධික ක්‍රීඩාවක් බැවින් බාහිර ආධාරයකින් තොරව දිගටම ක්‍රීඩා කිරීම පහසු කාර්ර්යයක් නොවිය හැකිය

සිය පියාගේ වීසා බලපත්‍රය කල් ඉකුත්වන විට ශ්‍රෙයාස් රෝයල් ද (Shreyas Royal) පියා සමඟ බ්‍රිතාන්‍යයේ වාසය කළේය.

ඔහුගේ දෙමාපියන්, ජිතේන්ද්‍ර සිං සහ අන්ජු සිං, ඉන්දියාවේ සිට බ්‍රිතාන්‍යයට පැමිණෙන විට ශ්‍රෙයාස් (ඔහු වඩා ප්‍රියකරන්නේ ශ්‍රෙස් (Shrez) යනුවෙන් හඳුන්වා ගැනීමටය) තුන් හැවිරිදි දරුවෙකි. එහෙත් සිය වීසා බලපත්‍රය දීර්ඝ කළ හැක්කේ වසරකට බ්‍රිතාන්‍ය පවුම් 120,000 ක වේතනයක් ලැබෙන රැකියාවක් සොයාගත හැකි නම් පමණක් බව 2018 දී බලධාරීන් ජිතේන්ද්‍ර සිං ට දැනුම් දී තිබුණි.

ඒ වනවිට නව හැවිරිදි වියේ පසු වූ ශ්‍රෙස් චෙස් ක්‍රීඩාවෙන් එංගලන්තය නියෝජනය කරන දක්ෂ ක්‍රීඩකයෙකු බවට පත්වී සිටියේය. ඔහු, සිය වයස් ඛාණ්ඩයේ ලෝකයේ දෙවැනි දක්ෂතම චෙස් ක්‍රීඩකයා විය.

“ශ්‍රෙස් චෙස් ක්‍රීඩා කරාවි කියල විතරක් නෙමෙයි, ඒක අපේ ජීවිතේ වෙනස්කරන්න හේතුවේවි කියල බ්‍රිතාන්‍යයට එනකොට මට මොහොතකටවත් හිතුණේ නෑ,” ජිතේන්ද්‍ර මා සමඟ පැවසීය.

එවක ස්වදේශ කටයුතු භාර අමාත්‍යවරයා වූ සජිඩ් ජාවිඩ් ශ්‍රෙස් විග්‍රහ කළේ, “ඔහුගේ පරපුරේ දක්ෂතම චෙස් ක්‍රීඩකයෙක්” වශයෙනි

ඔවුන් රටින් පිටුවහල් කිරීමට සැරසෙන බවට වාර්තා පළවීමත් සමඟ මතු වූ මහජන විරෝධය හමුවේ, එවක ස්වදේශ කටයුතු භාර අමාත්‍යවරයා වූ සජිඩ් ජාවිඩ් පුද්ගලිකව මැදිහත් වී ඔවුන්ගේ වීසා බලපත්‍රය දීර්ඝ කළේය.

ඒ අවස්ථාවේ ඇමතිවරයා ශ්‍රෙස් විග්‍රහ කළේ, “ඔහුගේ පරපුරේ දක්ෂතම චෙස් ක්‍රීඩකයෙක්” වශයෙනි.

බොහෝ කීර්තිධර චෙස් ක්‍රීඩකයන් එය ප්‍රතිරාව නැංවූ අතර, එංගලන්ත විවෘත චෙස් කණ්ඩායමේ නායක මැල්කම් පේන් (Malcolm Pein) කුඩා දරුවා හඳුන්වා දුන්නේ “පරම්පරා ගණනාවකට පසුව බ්‍රිතාන්‍යයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම චෙස් බලාපොරොත්තුව” ලෙසිනි.

12 හැවිරිදි ශ්‍රෙස් සිය දෙමාපියන් සමඟ දැන් බ්‍රිතාන්‍යයේ වාසය කරයි.

ඔහු සතුටෙනි.

“කෙනෙක් එක තැනකට සහ සමහර දේවල්වලට පුරුදු වුනාම, එකපාරටම ඒක වෙනස්කරන්න අමාරුයි. ඒ නිසා අපිට බ්‍රිතාන්‍යයේ ඉන්න අවසර ලැබුණ එක ගැන මට හරිම සතුටුයි,” ඔහු බීබීසී සමඟ පැවසීය.

“චෙස් මගේ ජීවිතේ ගොඩක් වෙනස් කළා. නිතර පුහුණුවීම සහ තමන්ගේ ගැන විශ්වාසය තැබීම නිසා තමා මම මෙතනට ආවේ.”

වියදම් අධික ක්‍රීඩාවක්

ශ්‍රෙස් වරක් සිය වයස් ඛාණ්ඩය සඳහා ලෝකයේ දෙවෙනි ස්ථානය හිමිකරගෙන සිටි නමුත් චෙස් ක්‍රීඩාව සඳහා අවශ්‍ය වියදම් දැරීමට අරගලයක නිරතව සිටින බව පියා පවසයි

ටානි ගේ මෙන්ම ශ්‍රෙස් ගේ ජීවිතය වෙනස් වූයේ ඔවුන් වෙනුවෙන් සමාජයෙන් ලැබුණ සහය හේතුවෙනි.

එහෙත් චෙස් යනු වියදම් අධික ක්‍රීඩාවක් බැවින් බාහිර ආධාරයකින් තොරව දිගටම ක්‍රීඩා කිරීම පහසු කාර්යයක් නොවිය හැකිය.

ශූරතාවක් දිනාගැනීමට නම් දිගටම තරඟවලට සහභාගි විය යුතු අතර, ඒ සඳහා දරුවන් වෙනුවෙන් වියදම් දැරීමට සිදුවන්නේ දෙමාපියන්ටය. තරඟ ගාස්තු, ප්‍රවාහන ගාස්තු සහ ඉඳුම් හිටුම් වෙනුවෙන් ඩොලර් සිය ගණනක සිට දහස් ගණනක් දක්වා වූ වියදමක් දැරීමට සිදුවේ.

“එකපාරක් ශ්‍රෙස් ලෝකේ දෙවෙනියා වෙලත් හිටිය, ඒත් ටානි ට වගේ අපිට කාගෙන්වත් ආධාර ලැබුණේ නෑ,” ජිතේන්ද්‍ර පවසයි. “ඒ නිසා අපිට සිද්ධවුණා ශ්‍රෙස් සහභාගි වෙන තරඟ ගණන අඩුකරන්න.”

සිය පුතුගේ ඉදිරි ගමනට කෙසේ හෝ උරදීමේ අටියෙන් ඔහු ඉන්දියාවේ තිබූ සිය නිවස ද විකුණා දැමුවේය.

“අපිට දැන් කිසිම අනුග්‍රාහකයෙක් නෑ. ඒ නිසා හැම සතයක්ම වියදම් කරන්නේ මම,” පියා විස්තර කළේය.

“ශ්‍රෙස් ට උදවු කරන්න දැන් මම හැම පැත්තටම ණයවෙලා ඉන්නේ.”

ඉන්දියාවේ උපත ලබා, තුන් හැවිරිදි වියේ දී බ්‍රිතාන්‍යයට පැමිණි ශ්‍රෙස් නව හැවිරිදි වියේ දී චෙස් ක්‍රීඩාවෙන් එංගලන්තය නියෝජනය කළේය

කොරෝනා වසංගතය හේතුවෙන් පැනවුණු සීමා සහ විශේෂයෙන්ම නෙට්ෆ්ලික්ස් ජාලය ඔස්සේ විකාශනය වූ ‘ක්වීන්ස් ගැම්බිට්’ (The Queen’s Gambit) චිත්‍රපට මාලාව හේතුවෙන් චෙස් ක්‍රීඩාව යළිත් වරක් ජනප්‍රිය විය.

ලෝකයේ විශාලතම අන්තර්ජාල චෙස් අඩවියේ ග්‍රාහකයන් පිරිස දෙගුණ වූ අතර, සජීව ලෙසින් චෙස් ක්‍රීඩාව නැරඹීමට ලක්ෂ සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීහු රැස්වූහ.

එහෙත් පාපන්දු, දැල්පන්දු සහ ක්‍රිකට් වැනි ක්‍රීඩා හා සමඟ සසඳන විට චෙස් ක්‍රීඩකයන් වෙනුවෙන් මූල්‍ය දායකත්වය සැපයීමට තවමත් බොහෝ දෙනා මැලිවෙති.

ජිතේන්ද්‍ර පවසන්නේ, තමන්ට හැකිතාක් කල් සිය පුතු වෙනුවෙන් මූල්‍ය දායකත්වය සපයන බවය. එහෙත් සමාජය ද චෙස් ක්‍රීඩාවට දිරි දිය යුතු බව ඔහු පෙන්වා දෙයි.

“මම උපරිම උත්සහ දරනවා, නමුත් කොච්චර කාලයක් තනියම මේක කරන්න පුළුවන් වේවි ද කියල මම දන්නේ නෑ.”