November 10, 2024

Fly TV

Space of free media

ඔබ සීනි අධිකව පරිභෝජනය කරන බව අනතුරු හඟවන සංඥා 12 ක්

 9,762 total views

අපි හැමෝම වගේ පැණි රසට කැමතියි. ඒ වුණත් , අධික සීනි පරිභෝජනය කියන්නේ අපේ සිරුරට එතරම් හිතකර දෙයක් නොවේ. දිනකදී ආහාරයට ගැනීමට සුදුසු යැයි නිර්දේශිත සීනි ප්‍රමාණය ග්‍රෑම් 36ට අඩු ප්‍රමාණයකි. ප්‍රමාණය ඉක්මවමින් සීනි ආහාරයට ගැනීම බරපතල සෞඛ්‍යය ගැටලු පවා ඇති කිරීමට හේතුවක් විය හැකියි. දිව පිනවීමට වඩා ඔබේ සෞඛ්‍යය ගැන ඔබ වැඩිවශයෙන් සැලකිලිමත් විය යුතුයි. කෙනෙක් ප්‍රමාණය ඉක්මවා සීනි පරිභෝජනය කරනවා නම් ඒ පුද්ගලයාගේ සෞඛ්‍ය ඉක්මනින්ම පිරිහෙන්න පුළුවන්. ඒවගේම සිරුරේ විවිධ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට පටන්ගත හැකියි.

පහත සඳහන් ආකාරයේ සංඥා ඔබේ සිරුරේ මතුවීම ඔබ අධිකව සීනි පරිභෝජනය කරන බවට අනතුරු හඟවයි.

සිරුරේ බර එන්න එන්නම වැඩිවීම

සෝඩා බීම, චිප්ස්, චොකලට්, බිස්කට්,ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් වගේ ආහාර වල සීනි අධිකයි.කෙනෙක් දිනපතා මේවා ආහාරයට ගනියි නම් ඔහුගේ/ඇයගේ සිරුරේ බර වැඩිවීම පුදුමයක් නොවෙයි.උදාහරණයක් විදියට කොකා-කෝලා ටින් එකක අඩංගු සීනි ප්‍රමාණය ග්‍රෑම් 27ක් පමණ වෙයි.ඔබේ ලබාගන්නා ආහාර වල ප්‍රෝටීන් අඩු සහ සීනි අන්තර්ගතය වැඩි නම් බඩගින්න පාලනය කිරීම සිරුරට දැඩි ලෙස අපහසු වී යනවා.මෙය සිරුරේ හෝර්මෝන මට්ටම් වලට ද බලපායි.පුද්ගලයාගේ ආහාර රුචිය පාලනය කරන හෝර්මෝන වලට එල්ල වෙන බලපෑම මෙහිදි විශේෂයි.ආහාර රුචිය නිසි ලෙස පාලනය නොවෙන නිසා නිතරම බඩගිනි ඇතිවෙයි. මේ නිසා අධික ආහාර ප්‍රමාණයක් කෑමට පෙළඹෙයි. පැණි රස ආහාර වලට ඇති කැමැත්ත වැඩි නිසා සෞඛ්‍යාරක්ෂිත ආහාර පාන වලින් ඈත්වීම සිරුරේ තරබාරුබව වැඩිවීමට හේතුවෙයි.

මනෝභාවයන් (moods) නිතර වෙනස්වීම

සිරුරේ සීනි මට්ටම් ඉහළ පහළ යාම පුද්ගලයාගේ මනෝභාවය නිරන්තරයෙන් වෙනස්වීමට බලපායි.මේ තත්වය මානසික ගැටලු තත්වයන් නරක අතට හැරීමට වුවත් බලපෑ හැකියි.සතුටින් ප්‍රීතියෙන් සිටින පුද්ගලයා ඊලඟ මොහොතේ කෝපයට පත් වී නුරුස්නා ස්වභාවයකින් හැසිරෙයි නම් (සුලු දේවල් වලට පවා), මනෝභාවයන් වෙනස්වීම ලෙස අදහස් කරන්නේ ඒ තත්වයයි.රුධිර සීනි මට්ටම ඉහළ මට්ටමක් ගෙන එක්වරම 70 mg/dL ට වඩා අඩු වී යාමකදී මෙලෙස එම පුද්ගලයා තුළ මනෝභාවයේ වෙනස්වීමක් ඇතිවිය හැකියි. මෙය හයිපොග්ලයිසීමියා තත්වයයි.

සම හානි වී ඇති ස්වභාවයක් ගැනීම

බාහිර සමේ නීරෝගි බව අඩු විය හැකියි. සම ආශ්‍රිත ගැටලු බහුල විය හැකියි.කුරුලෑ මතුවීම පමණක් නොව මුහුණ, අත්, ඇඟිලි, කකුල් ඇතුළු සමස්ත සම හානිවීමට ලක්විය හැකියි.රුධිරයේ සීනි මට්ටම ඉහළ වන විට සම මත තුවාල බිබිලි (blisters) ඇතිවීමට පටන්ගත හැකියි.මේවා එන්න එන්නම වැඩිවෙයි නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමු වී ප්‍රතිකාර ලබාගත යුතුයි.


සිරුරේ ප්‍රතිශක්තිය දුර්වලවීම

සීනි මට්ටම් අධික වීම සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරයි.ඔබ වැඩිපුරම පානය කරන්නේ සෝඩා බීම වර්ග නම් නිතර නිතර ලෙඩවෙන එක ගැන පුදුම වෙන්න එපා.රුධිරයේ සීනි මට්ටම අධික වීම ප්‍රතිශක්තිකරණ පද්ධතියට ගැටලු ඇතිකරවයි.එවිට සිරුරට ඇතුල්වන රෝගකාරක විෂබීජ වලට එරෙහිව ක්‍රියාකිරීමට සිරුරට ඇති හැකියාවට බාධා එල්ල වෙයි.ප්‍රතිශක්තිය දුර්වල නම් සෙම්ප්‍රතිශ්‍යා සහ වසංගත උණ රෝග වලට ගොදුරුවීමේ අවදානම වඩාත් ඉහළ යයි.එපමණක් නොව විවිධ වෛරස රෝග වැලඳීමට ඉඩ තිබෙයි.


නිදිමත ගතිය

රුධිරයේ සීනි මට්ටම ඉහළ වන විට සිරුරට තදබල තෙහෙට්‍ටුවක් දැනෙයි.දහවල් කාලයේ පවා ඇද වැටෙන්න තරම් නිදිමත ගතියක් දැනීමට පටන්ගනියි.සීනි බහුල ආහාර පාන අධිකව ගැනීමෙන් සිරුරේ ශක්තිය පිරිහී සිරුර තුළ අප්‍රාණික බවක් ඇතිවෙයි.සැකසුම් ක්‍රියාවලියට ලක්කළ ආහාර (processed food) නිතර නිතර පරිභෝජනය කරන අයට මේ අවදානම ඉතා වැඩියි.මෙවැනි ආහාර වල අධික සීනි ප්‍රමාණයක් මිස සිරුරට වැදගත් පෝෂණ ගුණ අඩංගු නොවන තරම්ය.

දත් කැක්කුම්

කුඩා කාලයේදී අධිකව සීනි කෑමෙන් දත් නරක් වන බව දෙමාපියන් අපට නිතර මතක්කරනවා.සීනි අන්තර්ගතය වැඩි ආහාර පාන නිසා අපේ දන්ත සෞඛ්‍යට ඇතිවිය හැකි සෘණාත්මක බලපෑම් ද ඉහළයි.කට තුළ ‍රැ‍ඳෙන සීනි මිශ්‍ර කෙළ වල බැක්ටීරියා අධිකව වර්ධනය වීමට පටන්ගන්නවා.සීනී අම්ල ආහාරයට ගන්නා මෙම බැක්ටීරියා ක්‍රමයෙන් දත් එනමලයට ද හානිකිරීමට පටන්ගනියි.දත් කුහර, දත් මුල් ඉදිමීම, විදුරුමස් රෝග , මැලියම්, දත් පණුවන් කෑම සහ මුඛ දුර්ගන්ධය හැමීම වැනි ගැටලු වලට සීනි බහුල ආහාර පාන පරිභෝජනය ප්‍රබල හේතු සාධකයක්.


අත් සහ කකුල් වල වේදනාව

අධික සීනි ප්‍රමාණයක් ශරීරගත වන විට ඒ බලපෑමින් සිරුර පුරා රුධිරය ගමන් කරන නහර අවහිර වීමට පටන්ගනියි.අත් සහ කකුල් වලට රුධිරය ගෙන යන නාළ මෙසේ හානියට ලක්වීමෙන් පීඩාකාරී කැක්කුම් වේදනා ඒ ආශ්‍රිතව මතුවීමට පටන්ගනියි.මෙම වේදනාවන් සමනය නොවී දිගින් දිගටම පවතියි නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න. ඇතැම් විට පීඩාකාරී වේදනා වය හේතුව නහර අවහිර වීම නම් නිසි ලෙස ප්‍රතිකාර නොගැනීමෙන් අත් සහ කකුල් වල වණ ඇතිවීමට පවා ඉඩ තිබෙයි.


සිරුර නිතර ආසාදන වලට ලක්වීම

අධික සීනි පරිභෝජනය සිරුර ආසාදන වලට ගොදුරුවීමේ අවදානම වැඩිවීමට හේතුවෙයි.සිරුරේ සීනි අධික වීම ප්‍රතිශක්තිය දුර්වල වීමට බලපාන බව මින් පෙරත් සඳහන් කළා.ප්‍රතිශක්තිය දුර්වල නිසා සිරුරේ තෙතමනය ‍රැ‍ඳෙන ස්ථාන (බොහෝ විට පපුව,ඇඟිලි අතර,දිව යට හා සම ආශ්‍රිතව) දිලීර තත්වයන් පවා වර්ධනය විය හැකියි.සීනි බහුලව ආහාරයට ගන්නා පුද්ගලයින් තුළ මූත්‍රා ආසාදන අවදානම ඉහළ බව සොයාගෙන තිබෙනවා.ඊට හේතුව මූත්‍රා මාර්ගයට ඇතුළු වන බැක්ටීරියාවන්ගේ ක්‍රියාකාරීත්වයයි. අධික සීනි සිරුරේ යීස්ට් ආසාදන අවදානම ද වැඩිකරයි.දියවැඩියාවෙන් පෙළෙන රෝගීන් බොහෝ විට මෙම පීඩාකාරී ගැටලු වලට ලක්වෙයි.සිරුරේ ඉදිමුම්, ප්‍රදාහයන් ඇතිවී ඇත්නම් වඩාත් සැලකිලිමත්වන්න.


බොඳවී පෙනීම

අධික සීනි ප්‍රමාණයක් ශරීරගත වීම නිසා ඔබේ අක්ෂි සෞඛ්‍ය ද පිරිහිය හැකියි. ඇස් වල පටක ආශ්‍රිතව තරල පිරීම ඉහළ යයි. මේ හේතුවෙන් ඇස් වල නිවැරදි දෘෂ්ටියක් (පෙනීමක්) ඇතිවීම දුර්වල වෙයි.එවිට අවට දේවල් බොඳ වූ ඡායාවන් ලෙස පෙනෙන්නට පටන්ගනියි.මෙය ඉතා අවදානම් තත්වයක්. ඔබත් මේ තත්වයෙන් පෙළෙනවා නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමු වී ඔබේ ඇස් වල සෞඛ්‍ය තත්වය පරික්ෂා කරගන්න. නිසි ලෙස ප්‍රතිකාර නොගැනීමෙන් ඇස් අන්ධ වීමට පවා ඉඩ තිබෙයි.

නිතර මූත්‍රා පිටකිරීමේ

අවශ්‍යතාව දැනීම මෙය සිරුරේ සීනි මට්ටම අධික බව පෙන්නුම් කරන එක් අවදානම් සංඥාවක්.රුධිරයේ සීනි මට්ටම ඉහළ අගයක් ගන්නා විට සිරුරේ මූත්‍රා නිපදවීම වැඩිවෙයි.මූත්‍රා පහ වන වාර ගණන වැඩි නිසා සිරුර විජනලය වීමේ අවදානම ද වැඩිවෙයි.මේ නිසා තවත් වතුර පානය කිරීමට සිත්වෙයි. එහි ප්‍රතිඵලය මූත්‍රා කිරීමේ අවශ්‍යතාව තවත් වැඩිවීමයි.රුධිර සීනි මඟින් සිරුරේ පටක වල ඇති තරල ඉවතට ඇදීම සිදුකරන නිසා විජලනය ඇතිවීමට මෙම ආස්‍රැති ක්‍රියාවලිය ද හේතුවක්. අධික සීනි හෙවත් ග්ලූකෝස් මූත්‍රා හරහා සිරුරෙන් බැහැර කරවීමට ක්‍රියාකරන නිසා ඔබේ වකුගඩු දුර්වල වීමට පවා ඉඩ තිබෙයි. අධිකව මූත්‍රා පිටවීම දියවැඩියාවේ රෝග ලක්ෂණයක් ලෙසත් හඳුන්වයි.


නිතර හිසරදය ඇතිවීම

කෑම ගැනීමෙන් පසු හිසරදයක් ඇතිවෙනවා ද? අධික සීනි ප්‍රමාණයක් සිරුරට ඇතුල්වීම සෘජුවම ඔබේ මොළයට බලපෑම් ඇතිකරයි.සීනි නිසා ඇතිවන මත්ගතිය ලෙස මෙය හඳුන්වයි.මේද සහ සීනි බහුල ආහාරයක් කුඩා ප්‍රමාණයකින් ආහාරයට ගත්තත් සිරුරේ රුධිර සීනි මට්ටම වේගයෙන් වෙනස්වීමට තරම් එය ප්‍රමාණවත්.මොළය සහ ස්නායු පද්ධතියට ඇතිවන බලපෑමත් සමඟ තදබල හිසරදයක් මතුවීමට පටන්ගත හැකියි.මෙය සුලු වෙලාවකින් පහව යයි.සීනි අඩංගු ආහාරයක් ගත් විගස මේ වගේ තත්වයක් ඇතිවෙයි නම් සීනි අඩංගු ආහාර පාන පරිභෝජනය සීමා කරන්න.


ඉසකරකැවිල්ල සහ ක්ලාන්ත ගතිය

ඇ‍ඳෙන් නැගිට්ට පසු ක්ලාන්ත ගතියක් දැනෙනවද? සිටගත් විට කැරකිල්ලක් මෙන් දැනෙනවද? නිතර මේ ලක්ෂණ මතුවීමට හේතුව ඔබේ සීනි බහුල ආහාර පාන රටාව වෙන්නට පුළුවන්.ඉසකැරකිල්ල දියවැඩියාවේ ලක්ෂණයකි.ලොකු ආහාර වේලක් ලබාගත් පසු රුධිර සීනි මට්ටම පහළ බැසීම නිසා ද මේ ලක්ෂණ ඇතිවිය හැකියි. මෙය දියවැඩියාව නොවන හයිපොග්ලයිසීමියා තත්වයයි.ඔබේ පවුලේ දියවැඩියා රෝගීන් ඉඳලා තියෙනවා නම් , විශේෂයෙන් ඉස කරකැවිල්ල වගේ රෝග ලක්ෂණ නොසලකා හරින්න එපා!


*රෝග ලක්ෂණ අත්දකින්නේ නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවී ඔබේ සෞඛ්‍ය තත්වය පරික්ෂා කරගන්න. සීනි පරිභෝජනය අවම කරමින් නීරෝගි සමබල ආහාර පාන රටාවක් අනුගමනය කිරීමට වැඩි අවධානයක් ලබාදෙන්න.