September 20, 2024

Fly TV

Space of free media

ශිෂ්‍යාවන් සිවු දෙනෙකු අන්තර්ජාලයෙන් අපයෝජනය කළ තරුණයා රිමාන්ඩ්

 25,438 total views

පිටබැද්දරට නුදුරු ප‍්‍රදේශයක පාසලක ශිෂ්‍යාවන් සිව් දෙනෙකු අන්තර්ජාලය ඔස්සේ ලිංගික අපයෝජනයකට ලක් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දුරකථන සමාගමක අලෙවි..


නියෝජිතයකු ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මොරවක මහෙස්ත‍්‍රාත්වරයා ඊයේ (08 වැනිදා* නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ තඹුත්තේගම ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන 28 හැවිරිදි තරුණයෙකි. මොහු වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ මෙම දුරකථන සමාගමේ අලෙවි නියෝජිතයකු ලෙස සේවය කරමින් සිටි අයෙකි.

පිටබැද්දරට නුදුරු පාසලක විදුහල්පතිවරයා විසින් මාතර කොට්ඨාස ළමා සහ කාන්තා කාර්යාංශය වෙත කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී අදාළ අලෙවි නියෝජිතයා පිළිබඳ තොරතුරු හෙළිවී ඇත.

ඒ අනුව සැකකරු මාතර ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණි අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබිණි.

පොලිස් ආරංචි මාර්ග පවසන අන්දමට සැකකාර අලෙවි නියෝජිතයා මෙම පාසලේ ශිෂ්‍යාවන් පිරිසකට සූම් තාක්ෂණය ඔස්සේ ඔන්ලයින් පංති පැවැත්වීමට අවශ්‍ය පහසුකම් ලබා දෙන බව කියමින් ඔවුන්ගේ ජංගම දුරකථන අංක ලබාගෙන ඇත.

පසුව ශිෂ්‍යාවන් සිව් දෙනෙකු සමග දිගින් දිගටම දුරකථන සංවාද පවත්වා ඔවුන් සමග සම්බන්ධතා ගොඩනඟාගෙන ඇති සැකකරු අන්තර්ජාලය ඔස්සේ එම ශිෂ්‍යාවන්ගේ ඡුායාරූප ලබාගෙන තිබේ.

මේ ආකාරයට සැකකරු මෙම ශිෂ්‍යාවන් ලිංගික අපයෝජනයට ලක් කර ඇත. මේ සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පතිවරයාට ලැබුණු තොරතුරකට අනුව මෙම පැමිණිල්ල ළමා හා කාන්තා කාර්යාංශය වෙත ලැබී ඇත. සැකකරු මේ ආකාරයට තවත් ශිෂ්‍යාවන් අපයෝජනයට ලක් කළේද යන්න සොයා පොලිසිය පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන හේරත් මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක වරුණි බෝගහවත්ත මහත්මියගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පැවැත්වෙයි.

හේමන්ත රන්දුණු සහ ලලිත් පද්මසිරි