September 20, 2024

Fly TV

Space of free media

දරුවො දෙන්න මා ඔයට නාන්න යනකොට මම කිව්වා ළමයි දෙන්න නම් ආපහු එන්නේ නෑ කියලා – මිත්තනිය හැඬූ කඳුළින් කියයි

 13,571 total views

fShare

* මා ඔයේ  ගිලී මියගිය  දරු දෙදෙනාගේ  ශෝකාන්තය

එදා දරුවො දෙන්නා එක්ක මාඔයට නාන්න යන්න ලෑස්ති වුණා. මම කොච්චරවත් කිව්වා යන්න එපා කියලා. එහෙම කියද්දී තමා ඔය ගියේ. ඒ යනකොට මම කිව්වා ඔය ළමයි දෙන්නා නම් ආපහු එන්නේ නෑ කියලා. එහෙම මට කියවුණා. ඒ ඇයි කියලා මට තවම  හිතාගන්නවත් බෑ. මම එහෙම කියලා පොල් කොටාගෙන එන්න ගියා. ළමයි දෙන්නා තාත්තත් එක්ක නාන්න ගියේ දවල් එකයි කාලට විතර. මම පොල්මොලේ ඉද්දී කවුදෝ කිව්වා අන්න උඹලගෙ ළමයි ඔයේ ගිලිලා කියලා. එතකොටම මම දුවගෙන ගෙදර ආවා යැයි පියා සමඟ මාඔයේ දියනෑමට ගොස් ඔයේ ගිලී මියගිය පස් හැවිරිදි සහ නවහැවිරිදි දරු දෙදෙනා සම්බන්ධයෙන් අප කළ විමසීමේදී දරුවන්ගේ මිත්තනිය වන ඞී. ඒ. සෝමවතී (72) මහත්මිය පැවසුවාය.

මෙලෙස දියේ ගිලී මියගොස් ඇත්තේ රඹුක්කන, වැලිකන්ද පදිංචිව සිටි 9 හැවිරිදි අදීෂ නෙතුමිණි විජේසූරිය සහ 5 හැවිරිදි ගගුලි නිම්සරා විජේසූරිය යන දරු දෙදෙනාය.

rabukkana2

අදීෂ නෙතුමිණි එම පවුලේ වැඩිමලාය. ඔහු වැලිකන්ද කනිටු විදුහලේ 4 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි අතර බාලදරුවා වූ ගගුලි නිම්සරා එම විදුහලේ 1 ශ්‍රේණියට ලබන වසරේ ඇතුළත් කිරීමට නියමිතව සිටියාය.

මේ අවාසනාවන්ත මරණ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී ප‍්‍රදේශවාසීන් ප‍්‍රකාශ කළේ එදින දරු දෙදෙනා සමඟ දරුවන්ගේ පියා නිවසේ සිට මාඔයේ බොලගම මංකඩට සිය යතුරු පැදියෙන් ගොස් ඇති බවත් එසේ ගොස් ටික වේලාවකට පසුව ඔහු නිවසට පැමිණ දරු දෙදෙනා ගෙදර ආවේ නැතිදැයි විමසා ඇති බවත්ය. මෙයින් මහත් සේ කලබලයට පත්ව ඇති දරුවන්ගේ මව සිය ස්වාමිපුරුෂයා සමඟ දරුවන් දියනෑමට ගිය ස්ථානයට ගොස් ඇති අතර එලෙස මව ගොස් සොයාබැලීමේදී දරුවන් නොදැකීමෙන් සිදුකළ කෑ ගැසීම් නිසා අවට ජනතාව පැමිණ තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දරුවන්ගේ මිත්තනිය මෙසේ පැවැසුවාය.

‘‘මේ මියගියේ මගේ දුවගෙ දරු දෙන්නා. මේ දරුවො පුංචි කාලෙ ඉඳලම මම අතපතගාලා හදාගත්ත දරුවො. මමත් ඉන්නෙ මේ ගෙදරමයි. එදා සිකුරාදා තමයි මේක වුණේ. එදා දවල් එකට එකයි කාලට විතර ගෙදර ආව බෑනා දරුවන්ට මාඔයේ නාන්න යන්න කතා කළා. මම එපාම කිව්වා. දුවත් එපා කීවා. ඒත් බෑනා දරුවො දෙන්නත් බයිසිකලේ දාගෙන පිටත් වුණා. ඒ යනකොට මට ඉබේම කියැවුණා ඔය ළමයි දෙන්නා නම් ආයෙ එන්නෙ නෑ කියලා. ඒ ඇයි කියලා මට හිතාගන්න බෑ. මෙහෙම ගිහින් ටික වෙලාවකට පස්සේ බෑනා දරුවන්ගේ ඇඳුම් ටිකත් අරගෙන ගෙදර ඇවිත් අහලා තියෙනවා දරුවෝ නාලා ගෙදර ආවේ නැත්ද කියලා. ඊට පස්සෙ තමයි දුව කලබලවෙලා බෑනත් එක්ක ආයෙත් ඔය ළඟට ගිහින් දරුවෝ හොයලා තියෙන්නේ.

කොහොම හරි බෑනා දරුවො හොයන්න ඔයට පැනලා තියෙනවා. ඊට පස්සේ බෑනා ගිලෙනවා දැකලා අවට අය තමයි පැනලා බේරගෙන තියෙන්නේ. කොහොම හරි ඔයට ගිය බෑනා දරුවො නාන අතරේ බයිට් කකා උණ පඳුරක් ළඟ ඉඳලා තියෙනවා. එහෙම ඉන්නකොට බෑනාට නින්ද ගිහිල්ලා. ඊට පස්සෙ තමයි දරුවො මතක්වෙලා හොයලා තියෙන්නේ.

කොහොම හරි වෙච්ච සිද්ධිය හින්දා අපේ දරු පැටවු දෙන්නා නැතිව ගියා.

මේ අවාසනාවන්ත මරණයෙන් මියගිය අදීෂගේ සිරුර එදිනම පස්වරුවේ පොලිසියේ සහ නාවික හමුදාවේ කිමිදුම්කරුවන් විසින් සොයාගත් අතර නිම්සරා දැරියගේ සිරුර ප‍්‍රදේශවාසීන් විසින් පසුදින සොයාගෙන තිබුණේ ඔවුන් දිය නෑ ස්ථානයේ සිට කිලෝමීටරයක් පමණ දුරකිනි.

මේ දරුවන්ගේ මරණ සම්බන්ධයෙන් කම්පාවට පත් අතිවිශාල පිරිසක් දේහයන් දැකබලා ගැනීමට පැමිණ සිටි අතර දියණියගේ දේහය සීල්කර තිබුණේ දැඩිලෙස නරක් වී තිබීම නිසාවෙනි.

මේ අවාසනාවන්ත මරණ සම්බන්ධයෙන් සියලූවරද පැටවෙන්නේ දරුවන්ගේ පියා වෙතය. ඊට හේතුව ඔවුන් දියනෑමට ගිය ස්ථානය අනතුරුදායක බවට පුවරුවක් පවා සවිකර තිබියදී එම ස්ථානයේ දියනෑමට යාමය. එපමණක් නොව එම ස්ථානය අලි නාවන විශාල වළක් බවද ප‍්‍රදේශවාසීහු පවසති. කෙසේ නමුත් මෙවැනි අවාසනාවන්ත මරණ යළිදු සිදුනොවන්නට නම් වැඩිහිටියන් වන අප, දරුවන් කෙරෙහි මීට වඩා වැඩි අවධානයක් යොමුකළ යුතුව තිබේ.

රඹුක්කන – නිහාල් පුෂ්පකුrabukkana4මාර

rabukkana3