September 20, 2024

Fly TV

Space of free media

දැරිය විකිණීමට ගෑවුණු සියල්ලන් අල්ලන්න – කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් නියෝග කරයි

 12,688 total views

 කාමර දුන් හෝටල් කළමනාකරුට තැරැව්කරුට හා වෙබ් නිර්මාණකරුට ඇප නෑ

* මිහින්තලේ උප සභාපති හෙට හඳුනා ගැනීමේ පෙරෙට්ටුවට

බාල වයස්කාර 15 හැවිරිදි දැරියක ලිංගික අපයෝජනය කිරීම, ඒ සඳහා ආධාර අනුබලදීම හා ලිංගික කටයුතු සඳහා ඇය මුදලට අලෙවි කිරීමේ ක‍්‍රියාදාමයට සම්බන්ධ සියලූම පුද්ගලයන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ප‍්‍රදීපා ලෝචනී අබේවික‍්‍රම වීරසිංහ මහත්මිය ඊයේ (07 දා) ළමා හා කාන්තා කාර්යාංශයට නියෝග කළාය.

එකී අපරාධය සම්බන්ධයෙන් විධිමත්ව හා අඛණ්ඩව විමර්ශන සිදුකර අත්අඩංගුවට ගන්නා ලද එක් එක් සැකකරුවන් සිදුකර ඇති වැරදි සම්බන්ධයෙන් සවිස්තරව තම අධිකරණයට වාර්තා කරන ලෙසට ද අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එහිදී වැඩිදුරටත් නියෝග කළාය.

එම නඩුවේ හතරවන සැකකාරිය ලෙස නම්කොට තිබූ එම දැරියගේ මව රුපියල් ලක්‍ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට ද අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එහිදී නියෝග කළාය. එම නඩුවේ 9, 11 සහ 13 වන සැකකරුවන් ලෙස නම් කොට තිබූ මිහින්තලය ප‍්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා සහ කෝටිපති ව්‍යාපාරිකයන් දෙදෙනා සම්බන්ධයෙන් හඳුනාගැනීමේ පෙරට්ටුව ලබන 9 වැනිදා පැවැත්වීමට ද එහිදී දින නියම කළ අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එම සැකකරුවන් ආවරණය කොට එදිනට අධිකරණයට ඉදිරිපත් කරනා ලෙසට ද බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළාය.

පෙර නඩු දිනයේදී එම සැකකරුවන්ගේ නීතිඥවරයා විසින් කරන ලද ඉල්ලීමක් අනුව ස්වෙච්ඡුා ප‍්‍රකාශ සටහන් කිරීම සඳහා බන්ධනාගාරය විසින් ඊයේ (07 දා) ආවරණය කොට අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි. අධිකරණයට කිරීමට අපේක්‍ෂා කරන ස්වෙච්ඡුා ප‍්‍රකාශ ඔවුනට එරෙහිව ඉදිරි නීතිමය කටයුතුවලදී සාක්‍ෂියක් ලෙස යොදා ගැනීමේ හැකියාව පවතින බව එහිදී සැකකරුවන්ට පෙන්වා දුන් අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එබැවින් ඒ සම්බන්ධයෙන් තවදුරටත් සිතා බලා ලබන 9 වැනිදා අධිකරණය දැනුම්වත් කරනා ලෙසට ද එම සැකකරුවන් තිදෙනාට අවවාද කළාය.

සිය සේවාදායකයන් ස්වෙච්ඡුා ප‍්‍රකාශ ලබාදීම මගින් අපේක්‍ෂා කරනුයේ වරද කියාපෑමක් නොව ඔවුන් එකී දැරිය සමඟ සිදුකළ ලිංගික ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් අධිකරණයට ප‍්‍රකාශ කිරීමක් වන්නේ යැයි මිහින්තලේ ප‍්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු එම සැකකරුවන් තිදෙනා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ රොෂාන් දෙහිවල මහතා එහිදී අධිකරණයට පැවසීය. එම දැරිය සමඟ ලිංගික ක‍්‍රියාකාරකම්වල නිරත වූ බව මෙන්ම එය සදාචාරාත්මක වරදක් බව සිය සේවාදායකයන් පිළිගන්නේ යැයි ද එහිදී අධිකරණයට පැවසූ නීතිඥ රොෂාන් දෙහිවල මහතා එකී සිද්ධිය නිසා එම සැකකරුවන්ගේ පවුල් ජීවිත බිඳවැටීමේ අවදානම මතුවී ඇතැයි ද පැවසීය.

එම අපරාධය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ එම නඩුවේ පස්වන සැකකාර තැරැුව්කරු හා හයවන සැකකාර කෑගල්ලේ පක්‍ඳ්ක්‍ඳාසීල නමැති චීවරධාරියා මේ වන විට ඇපමත මුදා හැර ඇති බැවින් සතියේ සෑම ඉරිදා දිනකම පෙරවරු 9 – 12 අතර කාලය තුළදී තම කාර්යාංශය හමුවේ පෙනී සිටින ලෙසට එම සැකකරුවන්ට නියෝගයක් කරන්නැයි විමර්ශන නිලධාරීහු එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

එම සැකකරුවන්ට ඇප ලබාදුන් අවස්ථාවේදී එකී ඉල්ලීම එම අධිකරණයෙන් කළ යුතුව තිබූ බවත්, මෙම අවස්ථාවේදී මෙම අධිකරණයෙන් එවැනි ඉල්ලීමක් කිරීම සුදුසු නොවන බවත් විමර්ශන නිලධාරීන්ට පෙන්වා දුන් අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එකී සැකකරුවන් නැවත අධිකරණයට කැඳවා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කිරීමේ හැකියාවක් තම අධිකරණයට නොමැති බව ද පෙන්වා දුන්නාය.

එකී චීවරධාරියා දසවතාවක් පමණ කේවල්කර දැරිය වෙනුවෙන් ගෙවිය යුතු ගාස්තුව රුපියල් 18,000 සිට 13,000 දක්වා පහත දමාගෙන ඇති බවට විමර්ශන නිලධාරීන් ඉදිරිපත් කළ වාර්තා අනුව පැහැදිලි වන නමුත් වින්දිතයන් ආරක්‍ෂා කිරීමේ පනත යටතේ විමර්ශන නිලධාරීන් දක්වන කරුණු පමණක් සලකා නියෝග දීමේ හැකියාවක් තම අධිකරණයට නොමැති බව ද අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එහිදී පෙන්වා දුන්නාය. නිසි සාක්‍ෂි ඉදිරිපත් කොට නීතිපති උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කළ යුතුව ඇතැයි ද අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එහිදී පෙන්වා දුන්නාය. එම සැකකරුවන් දෙදෙනා ඇප මත මුදාහැරීම නිසා වින්දිත දැරිය බියට පත්වී හඬා වැටෙනා බව පවසමින් විමර්ශන නිලධාරීන් දැක්වූ කරුණුවලට පිළිතුරු ලබා දෙමින් මහෙස්ත‍්‍රාත්වරිය එලෙස ප‍්‍රකාශ කළාය.

එම දැරිය මේ වන විට රඳවා සිටින ස්ථානයට පොලිස් ආරක්‍ෂාවක් ලබා දෙන ලෙසට රාගම පොලිසියට දැනුම් දී ඇතැයි ද විමර්ශන නිලධාරීහු එහිදී අධිකරණයට පැවසූහ.

එම දැරිය ඉතා ළාබාල වියේදීම ඇගේ පියාගේ මිතුරකු විසින් අපයෝජනයට ලක් කර ඇති බවත්, ඉන් වසර කිහිපයකට පසුව ඇගේ පියා විසින් ද ඇය අපයෝජනයට ලක්කර ඇති බවත් එහිදී අධිකරණයට පැවසූ ඇයගේ මව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිල ඉන්දික මාවෙලගෙදර මහතා එම සිද්ධිය මුල්කර ගෙන නිවසින් පිටවී ඇති ඇගේ මව රජීව් නමැති සැකකරුට දැරිය භාර දී ඇතත් ඇයව ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමෙන් ලැබුණ මුදල් මවට ලබාදුන් බවට කිසිදු සාක්‍ෂියක් නොමැති බව ද අධිකරණයට කීවාය.

එම දැරිය ඉතා බාල වියේ සිට අධිකරණය විසින් පරිවාස දෙපාර්තමේන්තුවේ අධීක්‍ෂණයට ලක්කර තිබූ අයෙකු වුවත් පරිවාස දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇය සම්බන්ධයෙන් නිසි අධීක්‍ෂණයක් සිදුකර නොමැති බව ඉදිරිපත්වන විමර්ශන වාර්තා හා තොරතුරු අනුව තම අධිකරණයට පෙනී යන්නේ යැයි ද අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එහිදී පෙන්වා දුන්නාය.

එම නඩුවේ පළමුවන සැකකරු වෙබ් අඩවියට දැන්වීම නිර්මාණය කළ පුද්ගලයා, දැරියව ලිංගික කටයුතු සඳහා යොදවා ගැනීමට පුද්ගලයන් කිහිපදෙනෙකුට තමන් සේවය කළ හෝටලයේ කාමර පහසුකම් ලබා දෙමින් එකී ක‍්‍රියාවට අනුබල දුන් ගල්කිස්ස ප‍්‍රදේශයේ පිහිටි ප‍්‍රධාන පෙළේ හෝටලයක කළමනාකරු සහ අටවන සැකකාර තැරැුව්කරු වෙනුවෙන් කළ ඇප ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කළ අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය ඔවුන් තිදෙනා ලබන 20 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.

ඒ. ජේ. ඒ. අබේනායක