September 20, 2024

Fly TV

Space of free media

පෙකණිවැල කැපුවේ උදැල්ලෙන් කියන්න පුළුවන්” එච්චරයි !… යළිත් කිසි දිනක නෑසිය යුතු කතාවක්

 12,897 total views

 අමරනන්ද විජේසේකර-මහවැව
 
කුමන ආකාරයෙන් වුවද මෙලොව එළිය දකින ඕනෑම දරුවකුට ජීවත්වීමේ අයිතිය නීතියෙන් තහවුරු කර ඇත. එය කිසිවෙකුටත් වෙනස් කළ නොහැකි දෙයක් වුවද ඇතැම් විට දරු සෙනෙහස මෙන්ම මාතෘත්වයට පවා නිගා දෙන ලෙස මව්වරුන් සුළු පිරිසකගේ හැසිරීම අසන්නට දකින්නට ලැබෙන්නේ බොහෝ දෙනාගේ හදවත් කම්පා කරමිනි.
 
 දරුවකුගේ කිරි සිනා දකින්නට පෙරුම්පුරන දෙමාපියන් මෙන්ම එම වාසනාව අහිමි වී සිටින ඇතැම් දෙමාපියන්ද දරු සෙනෙහස පිළිබඳ තම හදවත් තුළ සිරකරගෙන සිටින හැඟීම් කොතෙක් දැයි කිසිවෙකුටත් කිව නොහැක. එවන් පසුබිමක තම කුසින් බිහිවූ ආදරණීය බිලිඳාගේ පෙකණිවැල උදැල්ලකින් කපා එම බිලිඳාට ලෝකය දකින්නට තිබූ වරම් සාහසික ලෙස විනාශ කළ හිත්පිත් නැති මවක් පිළිබඳ තොරතුරු වාර්තා වූයේ ඉකුත් 30 වෙනි දින දුම්මලසූරිය පොලිස් වසමෙන්ය.
 
 අපරාධයක් කිසිදා සැඟවිය නොහැක යන්න පසක් කරමින් පසුගියදා වැලලී යෑමට ගිය මෙම අපරාධයේ සුලමුල සොයා ගැනීමට ඉවහල් වූයේ පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලැබූ තොරතුර නිසාය.
 
 දුම්මලසූරිය පොලිස් වසමට අයත් මරක්කලමුල්ල ප‍්‍රදේශයේ සිදු වූ මෙම සිද්ධියට අත්අඩංගුවට ගැණුනේ මරක්කලමුල්ල පදිංචි සේනානායකගේ රම්‍ය කුමාරි නමැති විසි අට හැවිරිදි එක්දරු මවකි. ඇයගේ සැමියාට වයස අවුරුදු 27 කි. පිරිමි දරුවාගේ වයස අවුරුදු තුනහමාරකි.
 
 රම්‍ය කුමාරි විවාහ වී ඇත්තේ මීට වසර නවයකට පෙරය. මාරවිල ප‍්‍රදේශයේ ඇඟලූම් කම්හලක සේවය කරන අතරතුර දෙදෙනා අතර ඇතිවූ පේ‍්‍රම සම්බන්ධයකින් පසුව දෙමාපිය ආශිර්වාදයෙන් විවාහ වී තිබේ.
 
 ඇය ගැබ්ගෙන ඇති බව සැමියා පවා නොදන්නා බව ඇය පොලීසිය හමුවේ පවසා ඇත. මාස අටක් පමණ ගත වන තුරු ඇය කිසිම වෛද්‍ය සායනයකට සහභාගී නොවී කාටත් වසන් කරමින් කාලය ගතනර තිබේ. අනියම් සැමියකුගේ ඇසුර නිසා මෙම ගැබ් ගැනීම් සිදු වීම ඊට හේතුවයි. ඇය හමුදා සෙබළෙකු සමග අනියම් සම්බන්ධතාවය පවත්වාගෙන ගොස් තිබේ.
 
 උදරයේ කිසියම් රෝගී තත්ත්වයක් ඇති බවට හඟවමින් ඇය මාස 8කට ආසන්න කාලයක් නිවසේ සැමියා සමග ගත කර තිබේ. ඉකුත් 29 වැනි දින උදෑසන පහට පමණ ඇය දරු ප‍්‍රසුතියට සූදානම් වී ඇති බවට හැඟීමෙන් පසු ඇය නිවස පිටුපස වැසිකිළියට ගොස් එම කටයුතු සිදුකර උදැල්ලක් ආධාරයෙන් පෙකනි වැල කපා එම උදැල්ලෙන්ම නිවසේ වැසිකිළිය පිටුපස ගසක් ආසන්නයේ වළක් කපා බිලිඳාගේ සිරුර වළ දමා තිබේ.
 
 මෙම සිද්ධිය ඒ අවට කිසියම් කෙනෙක් දැක පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දීමට කටයුතු කර ඇත. මෙම කාන්තාව හමුදා සෙබළා සමඟ මීට වසර හතරකට පමණ පෙර සිට සැමියාට හොර රහසේ සම්බන්ධතාවය පවත්වාගෙන ගොස් ඇත. මෙම ගැබ් ගැනීමෙන් පසු කාන්තාව ඒ පිළිබඳ හමුදා සෙබළාට දැන්වීමෙන් පසු එම දරුගැබ විනාශ කරන මෙන් පවසා ඔහු බෙහෙත් පෙති වර්ගයක් ඇයට ලබාදීමට කටයුතු කර තිබේ. එහෙත් ඇය එම පෙති ගැනීමට මැලිවී තිබේ. මේ හේතුවෙන් හමුදා සෙබළා පෙති ගැනීමට නිරන්තරයෙන් ඇවිටිලි කර ඇති අතර ඔහුගේ බල කිරීම නිසාම ඇය එම පෙති සිද්ධියට දින පහකට පෙර ඉන් පෙති පහක් ගෙන කිබේ. ඉන් පසු 30 වෙනි දින උදෑසන පහට පමණ ශරීරයේ ඇති වූ වෙනස්කම නිසා වැසිකිළියට ගිය පසු දරු ප‍්‍රසූතිය සිදුව ඇති අතර පසුව උදැල්ලක් ගෙන පෙකණිවැල කපා වැසිකිළිය පිටුපස තේක්ක ගසක් යට එම උදැල්ලෙන්ම වළක් කපා වළදමා තිබේ. පසුව ඇය ඇඳ සිටි ලේ තැවරුණ රෙදි සහ පෙකණිවැල උරයකට දමා වැසිකිළිය පිටුපස කුණු ගොඩට දමා පිලිස්සීමට කටයුතු කර ඇත.
 
 30 දහවල් මේ පිළිබඳ මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය පැවැති අතර එහිදී මේ දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කුලියාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් සිදුකර දේහය මළදරු උපතක් ද සජීවී දරු උපතක් ද යන්න නිගමනය කළ නොහැකි බැවින් දේහයේ පටක සාම්පල් රස පරීක්ෂකට යොමු කිරීමට නියෝග කර ඇත.
 
 මව වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීමට යොමු කර මේ මස 13 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
 
 දුම්මලසූරිය පොලිසියේ ස්ථානාධිපති අතුල ගමගේ, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මනෝහර, පොලිස් සැරයන්වරුන් වන 33588 පුෂ්පකුමාර, 5326 සරච්චන්ද්‍ර, 116 බංඩාර, 49150 අරුණකුමාර යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදු කරති.