September 21, 2024

Fly TV

Space of free media

මගේ අම්මා මගේ ඇඟ වික්කා” – අවුරුදු හැත්තෑවකට පසු මරණීය දණ්ඩනයට යටත් කෙරුණු ඇමෙරිකානු කාන්තාවගේ කතාව

 4,600 total views

ඇමෙරිකානු අධිකරණ ඉතිහාසයේ වසර 68කට පසු පළමුවරට කාන්තාවකට එරෙහිව මරණීය දණ්ඩනය ක්‍රියාවට නංවනු ලැබුණි.

ලීසා මොන්ට්ගොමෙරි (Lisa Montgomery) නම් එම කාන්තාවට එරෙහිව පූර්ව අධිකරණයක් විසින් නියමකරන ලදුව පැවැති මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරනු ලැබ තිබෙන්නේ,ඇමෙරිකානු ෆෙඩරල් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙනලද නියෝගයක් මගින් එය තාවකාලිකව අත්හිටවනු ලැබ තිබියදීය.

එම මරණ දඬුවම ක්‍රියාවට නැංවීමට පෙර එය ක්‍රියාත්මක කරනු ලැබීම සුදුසුද යන්න සම්බන්ධයෙන් විභාගයක් පැවැත්විය යුතු බව විනිසුරු ජේම්ස් හැන්ලන් (James Hanlon) ප්‍රකාශකර තිබුණි.

එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්වීමෙන් පැය කීපයකට පසු එම කාන්තාවට විෂ එන්නතක් ශරීරගත කරනු ලැබීම මගින් මරණීය දණ්ඩනය ක්‍රියාවට නංවනු ලැබුණි

ලීසා වෙනුවෙන් පෙනීසිටි නීතිවේදීන් පෙන්වාදුන්නේ තම සේවාදායිකව යහපත් මානසික තත්ත්වයක නොසිටින අතර ඇය උපතින්ම ඌන මානසික සංවර්ධනයක් සහිත තැනැත්තියක් වන බවය.

ලීසාට එරෙහි මරණ දඬුවම ප්‍රකාශයට පත්කරන ලද්දේ 2007 වසරේදීය.

ලීසාට එරෙහිව ඉදිරිපත්ව තිබූ චෝදනාව වූයේ මිසූරි (Missouri) ප්‍රාන්තයේ ගර්භනී මවකගේ ගෙල සිරකොට මරාදමා ඇයගේ උදරය කපා නූපන් බිළිඳකු පැහැරගෙන යාමය. 2004 වසරේ වාර්තා වූ එම අපරාධය සම්බන්ධයෙන් වරදකාරිය කරනු ලැබ මරණීය දණ්ඩනයට යටත්කරනු ලැබ සිටි ලීසා අඟහරුවාදා (ජනවාරි12) වනවිට පනස් දෙහැවිරිදි වියේ පසුවූවාය.

‘ඉන්දියානා’ ප්‍රාන්තයේ ‘ටෙරේ හෝටි’ (Terre Haute) බන්ධනාගාරයේ දී ලීසා මරණයට පත්කර ඇති අතර ඇය වසර හැත්තෑවකට ආසන්න කාලයක් තුළ එම ඉරණමට ලක්වූ පළමු කාන්තාව බවට පත්වූවාය.

විනිසුරුගේ තීන්දුව කුමක්වීද?

 

‘ඉන්දියානා’ ප්‍රාන්තයේ දකුණු දිස්ත්‍රික් අධිකරණයේ විනිසුරු ජේම්ස් හැන්ලන් (James Hanlon) ඉහතකී මරණීය දණ්ඩනය ක්‍රියාවට නංවනු ලැබීමට පෙර සඳුදා (ජනවාරි 11) මෙසේ සඳහන්කර තිබුණි.

”ලීසා මොන්ට්ගොමෙරිට එරෙහි මරණීය දණ්ඩනය ක්‍රියාවට නැංවීමට තරම් සුදුසු මානසික තත්ත්වයක ඇය සිටින්නේද යන්න තීන්දුකිරීමේ විභාගයක් සිදුකිරීම සඳහා අධිකරණයට අවස්ථාව සැලසීම්වස් ඇයට එරෙහි තීන්දුව තාවකාලිකව නතර කරන මෙන් ඇය කරන ලද ඉල්ලීමට අවසර ලැබෙයි”

”ලීසා මොන්ට්ගොමෙරි මහත්මියගේ මානසික සෞඛ්‍ය තත්ත්වය කොතරම්දුරට යථාර්ථයෙන් ඈත්ව තිබෙන්නේදැයි සඳහන් කළොත්, ඇයට එරෙහිව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරනු ලැබීමේ ආණ්ඩුවේ අභිලාශය කුමක්ද යන්න තේරුම්ගැනීමේ ශක්‍යතාවක් ඇයට නොමැත” විනිසුරුවරයාගේ ප්‍රකාශයේ දැක්වෙයි.

”අධිකරණය ඊට අදාළ විභාගයක් සඳහා දිනය සහ කාලවේලාව වෙනත් නියෝගයක් මගින් යථා කාලයෙහි නියමකරනු ඇත” විනිසුරු හැන්සන් වැඩිදුරටත් සඳහන්කර තිබුණි.

”ලීසාට එරෙහි මරණීය දණ්ඩනය තාවකාලිකව අත්හිටවීමට තීන්දුකරනු ලැබීම මගින් අධිකරණය නිවැරැදි තීන්දුවක් ගෙන තිබෙනවා” නීතිවේදී කෙලී හෙන්රි විසින් නිකුත්කරන ලද ප්‍රකාශනයක සඳහන් විය.

”අධිකරණය නිවැරැදිව තේරුම්ගත් පරිදි, ලීසා මොන්ට්ගොමෙරි මරාදැමීමට සුදුසු මානසික මට්ටමක දැන් ඇය නොමැති බව හොඳින් පෙන්නුම් කර තිබෙනවා”

‘මොන්ට්ගොමෙරි මහත්මියගේ මොළයට හානි සිදුවෙලා. ඇය බරපතල මානසික ව්‍යාධියකින් පෙළෙනවා. භාරකරුවන් ග්‍රහණයේ සිටියදී ලිංගික පීඩාවන්ට ගොදුරුවීමෙන් ඇය ලද පීඩාව ඇයගේ මුළු ජීවිතකාලය පුරාම දිගටම බල පැවැත්වෙන්නක්” නීතිවේදියා පෙන්වාදෙයි.

එහෙත් හැන්සන් විනිසුරු විසින් දෙනලද තීන්දුවට එරෙහිව අධිකරණ නිලධාරීන් අභියාචනයක් ඉල්ලා ඇතැයි CNN පුවත්සේවය වාර්තා කළේය.

ගැලවීමක් තිබුණේද?

 

ලීසාට එරෙහි මරණීය දණ්ඩනය පළමුව ක්‍රියාවට නැංවීමට නියමිතව තිබුණේ 2020 දෙසැම්බර් මාසයේ දිනකය. එහෙත් ඇයගේ නීතිවේදීන් කොවිඩ්-19 වෛරසයට හසුවීම හේතුවෙන් එය කල්තැබීමට සිදුවිය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ මරණීය දණ්ඩන තොරතුරු මධ්‍යස්ථානය පවසන පරිදි ආණ්ඩුව විසින් ලීසා මොන්ට්ගොමෙරිට පෙර කාන්තාවකට එරෙහිව මරණීය දණ්ඩනය ක්‍රියාවට නංවා තිබෙන්නේ 1953 වසරේදීය. ඇය බොනී හෙඩී (Bonnie Heady) නම් වූවාය..

මරණීය දණ්ඩණය යළි ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති ට්‍රම්ප් නියෝගකරනු ලැබීමට පෙර වසර දාහතක කාලයක් එක්සත් ජනපදයේ ෆෙඩරල් මරණීය දණ්ඩනය ක්‍රියාවට නැංවීම අත්හිටවනු ලැබ තිබුණි.

ඇමෙරිකානු ජනාධිපති පදවියට තේරී පත්ව සිටින ජෝ බයිඩන් පදවියේ කටයුතු භාරගනු ලැබුනේනම් ලීසාට මරණීය දණ්ඩනයෙන් ගැලවීමට ඉඩකඩ තිබිණැයි අදහස් පළවෙමින් ඇත. ෆෙඩරල් ආණ්ඩුවේ මරණ දඬුවම නතර කිරීමට අවධානය යොමුකරන බව ජෝ බයිඩන් ප්‍රකාශකර ඇත.

ඛේදාන්තයක සුළමුල;

 

ඛේදාන්තයකින් අවසන් වූ ලීසා ගේ ජීවිතකතාව ආරම්භවන්නේ කුඩා වියේ පටන් ඇය මුහුණදුන් අඩන්තේට්ටම්, හිරිහැර, ලිංගික අතවර සහ ඒ නිසාම ඇතිවූ මානසික ව්‍යාධීන් ඇතුළත් කාල පරිච්ඡේදයකිනි. එවැනි අතීතයක් සහිත ලීසා මිනීමැරීමේ සහ ළදරුවකු පැහැරගනු ලැබීමේ චෝදනාවට ගොදුරුවූයේ 2004 වසරේදී සිදුකරන ලද සාපරාධී වරදක් සමඟය.

ඇය ඒවනවිට 36 වෙනි වියේ පසුවූවාය. ලීසාට එරෙහි චෝදනාව වූයේ 23 හැවිරිදි බොබී ජෝ ස්ටිනෙට් (Bobbie Jo Stinnett) නම් මාස අටක ගර්භනී තරුණියකගේ උදරය කපා ඇයගේ කුසෙහි වූ බිළිඳු දැරියක් පැහැරගෙන යාමය. බොබී එම අනපේක්ෂිත ප්‍රහාරයේ දී රුධිරය වහනයවීමෙන් මරණයට පත්වූවාය.

සුරතල් බලුපැටවුන්ට ආශා කළ ලීසා මොන්ට්ගොමෙරි සහ බොබී ජෝ ස්ටිනෙට්(Bobbie Jo Stinnett) එකිනෙකා දැන හඳුනාගෙන තිබෙන්නේ අන්තර්ජාලය ඔස්සේය. සති කීපයක් අන්තර්ජාලය ඔස්සේ අදහස් හුවමාරු කරගත් ලීසා එවක ගර්භනීව සිටි බෝබීට පවසා තිබෙන්නේ තමාත් ගැබ්ගෙන සිටින බවකි. අනතුරුව ඔවුන් දෙදෙනා ගැබ්ගැනීමට අදාළ තොරතුරු හුවමාරු කරගෙන ඇත.

2004 වසරේ දෙසැම්බර් මාසයේ දිනක ලීසා කැන්සාස් හි පිහිටි සිය නිවසේ සිට කිලෝමීටර් 281.5ක දුරක් මෝටර්රථයක් පදවාගෙන බොබී වාසයකරන ‘ස්කිඩ්මෝර්’ (Skidmore) කරා ගොස් තිබෙන්නේ බොබී සතු සුරතල් බලු පැටවුන් බැලීම සඳහා අවස්ථාවක් යොදාගනිමිනි.

එහෙත් එසේ පැමිණි කාන්තාව බොබී බලාපොරොත්තු වූ ලීසා මොන්ට්ගොමෙරි නොවූවාය. එහි පැමිණ තිබුණේ ඩාර්ලින් ෆිෂර් Darlene Fischer) නමින් පෙනීසිටි කාන්තාවකි. එය ‘ලීසා’ බොබී සමඟ ගනුදෙනු කිරීමේ දී යොදාගන්නා ලද ව්‍යාජ නාමයකි. ඇය එම නමින් ද බොබී සමඟ තවත් කාන්තාවක වේශයෙන් බලුපැටවුන් මිලට ගැනීම ගැන අදහස් හුවමාරු කරගෙන තිබුණි.

ආරාධිත කාන්තාව තම දොරට සන්කළ මොහොතේ බොබී එය විවෘත කරත්ම අටමසක් ගර්භනී කතක වූ බොබී යටත් කරගත් ලීසා ඇයගේ ගෙල සිරකොට මරාදමා උදරය සිඳ එහිවූ බිළිඳිය පැහැරගෙන ගොස් තිබුණි.

බොබී ගේ මරණය සිදුවුණේ මෙම නිවසේදීය. අද එම නිවස පවතින තත්ත්වය

මෙයින් අවුරුදු 16කට පෙර සිදුවූ එම මරණය බොබී ජීවත්වූ ප්‍රදේශයේ වැසියන්ගේ මතකයෙන් තවමත් ගිලිහී නැත.

ශෝකාන්තයේ ආරම්භය උපතත් සමඟ

 

ලීසා මොන්ට්ගොමෙරි වෙනුවෙන් පෙනීසිටි නීතිවේදීන් කණ්ඩායම ඇයගේ පවුලේ සාමාජිකයන්, මිතුරන්, සමාජසේවා අංශයේ මහජන නියෝජිතයන් සහ සිදුවීම් අධ්‍යයනය කරන්නන් සහ වෛද්‍යවරුන් ආදී පිරිස් සමඟ සම්මුඛ සාකච්ඡා 450 ක් පමණ පවත්වා ඇත.

එම සාකච්ඡා මගින් ඔවුන්ට හෙළිදරව් වී තිබෙන්නේ පවුලේ කටයුතු ක්‍රමවත්ව සිදුනොවීම, අපයෝජනය, දිගින් දිගටම පුරුද්දක් හැටියට නොතකා හැරීම, මත්ද්‍රව්‍ය භාවිතය සහ ප්‍රතිකාර නොකළ මානසික රෝග වැනි කරුණු රාශියක් මොන්ට්ගොමෙරි පවුල වටා එකට ගෙතී ඇති බවය.

“මුළු කතාවම ඛේදජනකයි” මොන්ට්ගොමෙරි වෙනුවෙන් පෙනීසිටි නීතිවේදී කෙලී හෙන්රි ප්‍රකාශ කළාය.

”ප්‍රශ්නය පටන්ගෙන තිබෙන්නේ ලීසා ඉපදීමටත් පෙර පටන්. ලීසාගේ පියා සමඟ සිදුකළ සාකච්ඡාවේ දී ඔහු සඳහන් කළා ලීසාගේ මව ‘ජූඩි’ (Judy Shaughnessy) ගර්භනී සමය පුරාම ඉතා අධික ලෙස මත්පැන් පානය කළ බව.එවැනි තත්ත්වයක් යටතේ ලීසා ඉපදිලා තියෙන්නේ කළලයේදීම මත්පැන් නිසා වැළඳෙන ‘භ්රූණ ඇල්කොහොල් ආබාධයක්’ ද (foetal alcohol syndrome) සහිතව.වෛද්‍ය විශේෂඥයන් ගණනාවක් එම රෝග විනිශ්චය සමඟ එකඟවුණා” නීතිවේදිනිය පවසන්නීය.

ජූඩි;ලීසාගේ මව

ලීසා මොන්ට්ගොමෙරි සහ ඇයගේ සහෝදරිය වන ‘ඩියෙන් මැටිංලි’ ළමාවියේ පසුවෙද්දී ඔවුන්ගේ මව ‘ජූඩි’ දරුවන් දෙදෙනාට පහර දී ලීසාගේ කට වැසීම සඳහා ටේප් ඇලවීම හෝ ඩයනා නිරුවතින්ම හිම මතට තල්ලු කරදැමීම වැනි දඬුවම් දී ඇත.

දරුවන්ගේ ජෛවීය පියා නිවසින් පිටව ගිය පසු ජූඩිගේ පෙම්වතුන් සමඟ ඔවුන් තනිකොට ඇති අතර අඩුතරමින් ඔවුන්ගෙන් එක් අයෙකුවත් තමා දූෂණය කිරීමට පටන් ගත් බව ඩයනා පවසයි.

“ජූඩි (අම්මා) වංචනික කාන්තාවක්. මම මෙම වචනය භාවිතා කිරීමට අකමැතියි, නමුත් සියල්ල නපුරුයි. අවට සිටින මිනිසුන්ට වධහිංසා පැමිණවීමෙන් ඇය සතුටක් ලැබුවා” ඩියෙන් වැඩිදුරටත් සඳහන් කළාය.

“ඇය එයින් ප්‍රීතියක් ලැබුවා.”

ලීසා ගේ සහෝදරිය ඩියෙන් මැටිංලි; ළමාවියේ පසුවෙද්දී ඔවුන්ගේ මව ‘ජූඩි’ දරුවන් දෙදෙනාට පහර දී ලීසාගේ කට වැසීම සඳහා ටේප් ඇලවීම හෝ ඩයනා නිරුවතින්ම හිම මතට තල්ලුකර දැමීම වැනි දඬුවම් දී ඇත.

අවසානයේදී සමාජසේවා අංශය මගින් ඩියෙන් නිවසින් ඉවත්කරනු ලැබීමෙන් පසු ලීසා ජූඩිගේ අලුත් සැමියාගේ ගොදුර බවට පත්ව ඇත.

එම පුරුෂයාගේම වෙනත් දරුවන් කියාසිටින පරිදි එම තැනැත්තා මත්පැන්වලට ඇබ්බැහිවූ ප්‍රචණ්ඩ චරිතයක් සහිත තැනැත්තෙකි. ලීසා ලිංගික අපචාරයන්ට ගොදුරුවීම පටන්ගෙන තිබෙන්නේ ඇය ලාබාල වියේ පටන්ය. එම පවුල නිවසින් නිවසට මාරුවෙද්දී එම අපචාර වධහිංසාමය තත්ත්වයකට පත්ව ඇති බව ලීසාගේ නීතිවේදීහු පවසති.

ලීසාගේ අර්ධ සහෝදර සහෝදරියන් සහ එම පවුලේ අය සමඟ කාලය ගත කළ වෙනත් පුද්ගලයන් සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාවලදී ප්‍රකාශ වූයේ, ”ලීසාගේ සුළු පියා ට්‍රේලරයක් මත ඉදි කළ මඩුවකදී ඔහු විසින් මෙන්ම අවසානයේදී ඔහුගේ මිතුරන් විසින් ද ඇය දූෂණය කරන ලදුව පහරදුන්’ ‘බවය.

අවසානයේදී දී ලීසාගේ මව ජූඩි සිය දියණිය පිටස්තරයන්ට විකුණා ඇත. නිවසේ වැඩට එන විදුලි කාර්මිකයන්ට සහ පයිප්ප අලුත්වැඩියා කරන්නන්ට ජූඩි මුදල්ගෙවීම වෙනුවට සිදුකර තිබෙන්නේ දියණිය පාවාදීමය.

ලීසා සිය ඥාති සහෝදරයෙකුට රහස් හෙළිකරමින් පවසා ඇත්තේ ”මිනිසුන් ඇය බැඳ, පහර දී අවසානයේදී ඇඟට මුත්‍රා කරන ලද” බවකි

දැනට ෂෙරිෆ්වරයාගේ නියෝජ්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කරන එම ඥාති සහෝදරයා ලීසාගේ නීතිවේදීන් කණ්ඩායමට පාපොච්චාරණය කරමින් කියාසිටියේ, ”තමා සිය සහෝදරිය රැකගැනීමට පියවර නොගත් අතර, සැබැවින්ම සිදුකරන ලද්දේ ආපසු නිවසට ගෙනවිත් අපයෝජකයින් අතට පත්කිරීම” බවය.

‘ජූඩි’ ඇගේ දෙවන සැමියාගෙන් වෙන්වීමේ දික්කසාද නඩු විභාගයේදී ඇය සහ ලීසා සාක්ෂි දෙමින් ඔහුගේ අපයෝජන ගැන සඳහන් කළ අතර ඒවා වාර්තා නොකිරීම සම්බන්ධයෙන් ඔවුන්ට බැන වැදුන නමුත් විනිසකරුද එම අපයෝජන ගැන වාර්තා කළේ නැත.

”එම අපචාර වැලක්වීම සඳහා මැදිහත්වීමට බොහෝ අවස්ථා තිබී ඇතත් කිසිවකු විසින් එම වගකීම ඉටුකර නැත” නීතිවේදිනී කෙලී හෙන්රි පෙන්වා දෙයි.