September 21, 2024

Fly TV

Space of free media

පාසල් සිසුන් අල්ලන්න ඔන්ලයින් ගණිකා ජාවාරමක් ඇවිත්

 3,253 total views

පාසල් සිසුවෙක් තට්ටු තුනේ බිල්ඩින් එකකින් වැටිලා අත පය කැඩිලා’යැයි ඉකුත් සතියේ දිනක කොළඹ ජාතික රෝහලෙන් බම්බලපිටිය පොලිසියට පැමිණිල්ලක් ලැබිණි. බම්බලපිටිය පොලිසිය මේ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කළේය. ඒ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනිල් ජයන්තගේ​ මෙහෙයවීම යටතේය. මෙම පරීක්ෂණවලින් හෙළිවුණේ දරුවා ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකුගේ පුත්‍රයෙක් බවයි.
මෙම ව්‍යාපාරික පුත් පාසල් සිසුවා අනතුරට ලක්වන්නේ කාමර පහසුකම් සපයන ස්ථානයකදී බව පරීක්ෂණ ආරම්භයේදීම අනාවරණය විය. අනතුරුව කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනතුරෙන් අත පය කැඩී තිබූ දරුවාගෙන් සියල්ල හෙළිවූයේය.

මෙම දරුවාට ඔහුගේ දෙමාපියන් මිල අධික ජංගම දුරකථනයක් ලබාදෙන්නේ ඔන්ලයින් හරහා පාසල් පාඩම් වැඩ කිරීමටය. දුරකථනයෙන් අන්තර්ජාලයට පිවිස සිටින විට එකවරම ඔහුගේ නෙත ගැටෙන්නේ ඔන්ලයින් ඔස්සේ ගණිකාවන් සපයන වෙබ් අඩවියකි. එම වෙබ් අඩවියට පිවිසි ඔහු තරුණ ගණිකාවන් සමග පණිවුඩ හුවමාරු කරගත්තේය. ඒ අනුව මෙම පාසල් සිසුවා එම තරුණ ගණිකාවන් කෙරේ ආකර්ෂණය වන්නට පටන් ගත්තේය.මෙම තරුණියන් හමුවීමට යෑමට ඔහුට අවශ්‍ය වුවත් ඒ සඳහා අවශ්‍ය මුදල් පියාගෙන් හෝ මවගෙන් නොලැබෙන නිසා ගමන දිනෙන් දිනම ප්‍රමාද විය. ඒත් පසුගිය සතියේ ගෙදරට බඩු ගෙනෙන්නට දුන් මුදලින් යම් ප්‍රමාණයක් ඉතිරි කරගෙන ඔන්ලයින් තරුණිය සොයා ගියේය. ඒ, දුරකථනය ඔස්සේ කතා කරගත් පරිදි ඇය එන්නට යැයි කී බම්බලපිටියේ තෙමහල් හෝටලයකටය.

තමා සොයා පැමිණ ඇත්තේ පාසල් සිසුවකු බව මෙම ඔන්ලයින් ගණිකාව දැනගන්නේ ඔහු මුණගැසුණු විටය. එහෙත් ඇය මෙම අලුත් පාරිභෝගිකයා අතහරින්නටද කැමති වූයේ නැත. ඒ අනුව ඇය මෙම පාසල් සිසුවා තම කාමරයට රැගෙන යන්නේය. ඒත් ඔහු අත ඇත්තේ රුපියල් දහසක් පමණක් බව ඇය දැනගන්නේ මෙසේ මෙම සිසුවා කාමරයට රැගෙන ගිය පසුය. කෙසේ හෝ මෙම සිසුවා බියවද්දා ඔහු අත ඇති රුපියල් දහසද රැගෙන ඔහු පලවා හරින්නට ඇය ක්‍රමයක් කල්පනා කළාය.

ඒ අනුව ඇය එක්වරම‘‘පොලිසියෙන්, ​පොලිසියෙන්’’;යැයි කියමින් කාමරයෙන් එළියට පැන ගත්තාය.මෙය ගණිකාවගේ කපටි සැලසුමක් බව නොදත් සිසුවා පොලිසිය යන වචනය ඇසූ පමණින්ම බියපත්ව පඩිපෙළ දිගේ පහළට නොබැස අසල වූ ඉණිමගක් දිගේ පහළට බැස පලා යන්නට තැත් කළේය. ඒත් ඔහුගේ උත්සාහය වැරදී ඉණිමග ගිලිහී තුන්වැනි මහලේ සිට පහළට පෙරළුණේය.
මෙම සිද්ධියත් සමගම විමර්ශන අරඹන පොලිසිය ඔන්ලයින් පාඩම්වල නිරත පාසල් සිසුන් ඉලක්ක කර ගණිකා ජාවාරමක් සිදුවන බව අනාවරණය කරගත්හ. මේ බව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත වාර්තා කිරීමෙන් පසුව දීර්ඝ විමර්ශනයක් සඳහා බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුර පුෂ්පකුමාරට භාර කෙරුණේය.
කොරෝනා වසංගතයෙන් පසුව කාමර පහසුකම් සපයන තැන් හා ගණිකාවන් සපයන තැන් වැසී යාමෙන් පසු ගණිකා වෘත්තියේ නිරත තරුණියන්ගේ ආදායම් මාර්ගද බිඳ වැටුණි. තමන් කොළඹ වැදගත් රැකියා කරන බව ගමට හඟවා කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලට පැමිණ මෙම වෘත්තියේ නියැළෙන තරුණියෝ මේ තත්ත්වය මත විශාල මුදල් අර්බුදයකට මුහුණ දුන්හ. දිනකට රුපියල් විසිදහසේ සිට පනස් දහස දක්වා උපයන තරුණ ගණිකාවන්ද මේ අතරේ වෙති. ඒ අනුව ආදායම් පහළ යාම ඔවුන් හුරු ජීවන රටාව ගෙන යෑමට විශාල බාධකයක් වී තිබේ.

කොරෝනාවෙන් කඩාවැටුණු ආර්ථිකය යළි නගාසිටුවන්නට තරුණ ගණිකාවන්ගේ පිහිටට එන්නේ වෙබ් අඩවිකරුවෙකි. වෙබ් අඩවියක් හරහා තම ගනුදෙනුකරුවන් සොයාගත හැකි බව ගණිකා වෘත්තියේ නිරත තරුණියන් අතර ආරංචිය සැලවීමත් සමග වෙබ් අඩවිකරුට දිනපතා දැන්වීම් දෝරෙ ගලා යන්නට විය.

දිනකට රුපියල් අටසීය, දහස වැනි මුදලක් වැයකර මෙම වෙබ් අඩවියේ දැන්වීම් පළ කරගත හැක්කේය.

‘‘ගණිකා වෘත්තියේ නිරත කාන්තාවන් එකසිය පනහකට වඩා දවස ගාණේ මේ වෙබ් අඩවියේ දැන්වීම් පළ කරනවා. තරගය වැඩි නිසා දැන්වීම පහළට යන්න කලින් ආයෙත් දානවා. මේකෙන් වෙබ් හිමිකරු දවසකට රුපියල් ලක්ෂ එකහමාරකට වඩා සොයාගෙන තියෙනවා’’යැයි විමර්ශන ඇරඹූ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් ද සිල්වා පවසන්නේය.

‘‘මේකෙ බරපතළකම තමයි පාසල් යන වයසේ දරුවන් මේ ජාවාරම්කරුවන්ගේ ඉලක්කය වීම. මේ තරුණ ගණිකාවන් ඒඩ්ස් සමාජ රෝගය ඇතුළු වෙනත් රෝගවාහකයන් වන්නත් පුළුවන්. මේක බරපතළ ව්‍යසනයක්’විමර්ශන නිලධාරීන් පවසති.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධ විමර්ශනය ඇරඹීමෙන් පසු මෙකී ඔන්ලයින් ගණිකා ජාවාරමට සම්බන්ධ තරුණියන් විසිදෙ​ෙනක් පමණ පොලිස් අත්අඩංගුවට ගෙන හමාරය.

මෙම වෙබ් අඩවියෙන් දැනටමත් වාහන විකුණන වෙබ් අඩවි මෙන් දිස්ත්‍රික්ක වශයෙන් වෙන්කර ගණිකාවන් සපයන පහසුකම්ද සපයා ඇත. දැන් මෙම ජාවාරම රටපුරා පැතිරී හමාරය. වයස අවුරුදු විසි ගණන්වල සිටින චතුල, කවිෂි, ෂෙනාලි, පාරමී, මධූ යන නම්වලින් තරුණයන් ආකර්ෂණය කරන දැන්වීම් දිනපතා වෙබ් අඩවියට මුදා හරින්නේය. සැඟවී ගණිකා ව්‍යාපාරය කළ ඔවුන් දැන් නොබියව අඩ නිරුවත් ඡායාරූප පළ කරන තරමට තරගයක් ඇති කරගෙන ඇත්තේය.

‘‘මේක තමයි දැන් ගණිකා ව්‍යාපාරයේ අලුත්ම ප්‍රවණතාව. ගණිකා නිවාස ආඥාපනත යටතේ නඩු පැවරුවත් නීතියේ හිඩැස්වලින් රිංගා යාමට මොවුන් කූට උපක්‍රම යොදා ගන්නවා. සමාජයෙන් පොලිසියට බණිනවා මේවා නවත්වන්නේ නැහැ කියලා. නමුත් තාක්ෂණය ඔස්සේ කරන මෙම ජාවාරම්වලට නඩු දාන්න නීති වෙනස් විය යුතුයි. ෆෝන් එකෙන් වෙලාවල් දාගෙන කාමරයකට ගියහම අතරමැදි කළමනාකරුවකු නැහැ. මෙතැනදි ගණිකා නිවාසයක් පවත්වාගෙන යාම, කළමනාකරණය කියන චෝදනාවලට නඩු දාන්න යද්දි ගැටලු පැන නගිනවා. පොලිසිය කොච්චර මේ අයව අල්ලලා උසාවි දැම්මත් සුළු දඩයක් ගෙවලා නිදහස් වෙනවා. ආයෙත් දවසින් දෙකෙන් ඒ අය බය නැතිව ඔන්ලයින් ව්‍යාපාරය පටන් ගන්නවා’’>යැයි මෙම ව්‍යාපාරය වැඩිපුරම සිදුවන කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහු පෙන්වා දෙති.

මෙතෙක් කරන ලද විමර්ශනවලින් හෙළිවී ඇත්තේ ඔන්ලයින් ගණිකාවන්ගේ ඉලක්කය පාසල් යන වියේ තරුණ ළමයින් බවයි. එවන් වටපිටාවක දරුවන් විවිධ රෝගවලට පමණක් නොව මත් රකුසාටද බිලිවීමේ අවදානම වැඩිය. මත්ද්‍රව්‍ය ජාවාරමුන් තම වෙළෙඳපොළ සරිකරගන්නට මෙවැනි තරුණ ගණිකාවන් මගින් තරුණ පරපුර මත්ද්‍රව්‍යයට හුරු කරවන්නටද සැලසුම් කරන බව හෙළිවී ඇත.

මෙම වෙබ් අඩවි හරහා තරුණියන් පමණක් නොව, තරුණයන්ද ගණිකා ව්‍යාපාර අරඹා ඇති බවටද මේ වනවිට පොලිසියට තොරතුරු ලැබී තිබේ.‘‘අපි මේ වෙබ් අඩවිය බ්ලොක් කරන්නට විදුලි සංදේශ නියාමන කොමිසමට දන්වලා තියෙන්නෙ. මේ වගේ වෙබ් අඩවි සියල්ල සොයාගෙන නීතිය ක්‍රියාත්මක කරනවා’’;යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුර පුෂ්පකුමාර පවසන්නේය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා – aruna news