September 23, 2024

Fly TV

Space of free media

නත්තල් සීයා ප්‍රමාද වී හෝ පැමිණෙනවා සත්තයි

 529 total views

නත්තල් සීයා සුවෙන් සිටින බවත් ඔහු ප්‍රමාද වී හෝ තෑගි රැගෙන පැමිණෙනු ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව පුරා දරුවන්ට පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී. කොවිඩ් වසංගතය හේතුවෙන් ‘නත්තල් සීයා’ මෙවර නත්තලේදී නොපැමිණෙනු ඇති බවට ලොව පුරා දරුවන් මිලියන ගණනකට පවතින සැකය දුරු කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම පණිවුඩය නිකුත් කර ඇත. එම පණිවුඩය ලබා දීම වෙනුවෙන් ඊයේ (24 වැනිදා) එම සංවිධානය විශේෂ මාධ්‍ය හමුවක්ද කැඳවා තිබිණි. එම මාධ්‍ය හමුවට එක් වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ් පිළිබඳ තාක්ෂණ කමිටුවේ ප්‍රධානී ආචාර්ය මරියා වෑන් කෙර්කෝව් (Maria van kerkhove) මෙසේ ප්‍රකාශ කළාය.

නත්තල් සීයාට මේ වයිරසය වැලඳෙන්නේ නැහැ. අපි ඔහු (නත්තල් සීයා) සමග දීර්ඝ ලෙස සාකච්ඡා කළා. ඔහු ඉතාමත් හොඳින් පසුවෙනවා. ඒ වගේම ඔහු මේ දිනවල ඉතාම කාර්යබහුලයි. ලොව පුරා රාජ්‍ය නායකයන් රැසක්ම අපිට ප්‍රකාශ කළා. නත්තල් සීයාට පැමිණීම සඳහා තමන්ගේ රටවල ගුවන් සීමාවන් විවෘත කළ බව. එම නිසා ඔහුට ගුවනින් පැමිණීමේ අවසරය තිබෙනවා. ඒ වගේම දරුවන්ට තෑගි රැගෙන ඒමේ හැකියාව ඔහුට තිබෙනවා.

නමුත් ලොව පුරා සිටින සියලුම දරුවන් අවබෝධ කරගත යුතුයි. නත්තල් සීයා සමග ශාරීරිකව දුරස්ථව සිටිය යුතුයි කියා. එය අනිවාර්ය කටයුත්තක්. එහිදී ලොව පුරා දරුවන් තමන්ගේ මවට, පියාට සහ භාරකරුවන්ට ඇහුම්කන් දීම ඉතාම වැදගත්.

නයන තරංග ගමගේ