September 20, 2024

Fly TV

Space of free media

අපි පොලීසි ගියේ අතවර සිද්ධියක් පිළිබඳව පැමිණිල්ලක් දාන්න… එතැනදි මගේ ඇස් ඉදිරිපිට දරුවාට අතවර කළා

 10,120 total views

* මං කෑ ගහනකොට තමයි දරුවාව අත හැරියෙ. 

රුවන් ජයවර්ධන

ශ‍්‍රී ලංකා පොලිසිය සම්බන්ධව වරින් වර විවිධ ප‍්‍රවෘත්තීන් පළ වෙමින් ඇත. ඉන් සමහරක් යහපත් විනයගරුක පොලිස් නිලධාරීන් පිළිබඳවත් ඔවුන් කළ කී දෑ ආදියත් පිළිබඳවය. මේ අතර ශ‍්‍රී ලංකා පොලිසියේ ප‍්‍රතිරූපය නැත්තටම නැති කරන පොලිස් නිලධාරීන් පිළිබඳව ද ඇතැම් ප‍්‍රවෘත්තීන් වාර්තා වෙමින් ඇත. මීට සති කිහිපයකට පමණ පෙර තම දියණියගේ විවාහ මංගල්‍ය උත්සවය තරු පහේ හෝටලයක පැවැත්වීම පිණිස තොග පිටින් කුඩු ප‍්‍රවාහනය කළ උප පොලිස් පරීක්ෂකවරයකු පිළිබඳ පුවතක් වාර්තා විය. එය මුළු මහත් පොලිස් දෙපාර්තමේන්තුවම අපකීර්තියට පත්කළ සිදුවීමක් විය. එහි උණුසුම මැකී යන්නටත් මත්තෙන් පොලිසිය සම්බන්ධව තවත් සිදුවීම් දෙකක් ඉකුත් දින කීපය තුළ ප‍්‍රදේශ දෙකකින් වාර්තා විය. ඉන් එක් සිදුවීමක් පාදුක්ක පොලිසියෙන් වාර්තා වන අතර අනෙක් සිදුවීම වාර්තා වන්නේ ගාල්ල නෙළුව පොලිස් ස්ථානයෙන්ය. වඳින්නට ගිය දේවාල හිසමත කඩා වැටීමක් බදු මෙම සිදුවීම් දෙක අතරින් ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ නෙළුව පොලිස් ස්ථානයෙන්ය.

එක්තරා පුද්ගලයකු විසින් තම 15 හැවිරිදි දියණිය අතවරයට ලක් කිරීම පිළිබඳව පොලිස් පැමිණිල්ලක් සිදු කිරීම පිණිස සිය දියණිය ද කැටුව නෙළුව පොලිස් ස්ථානය වෙත යන මවක් එහිදී තමන්ට මුහුණ දීමට සිදු වූ එම අප‍්‍රසන්න සිදුවීම පිළිබඳව මාධ්‍ය හමුවේ විස්තර කරන ලද්දේ මේ ආකාරයෙන්ය.

”එදා… 29 වැනිද. දරුවත් එක්ක නෙළුව පොලිසියට ගිහිල්ලා පැමිණිල්ල දැම්මට පස්සේ වැඩිදුර විමර්ශන සඳහා දරුවව පොලිසියේ රඳවගන්න ඕන කියල මාවයි දරුවවයි දෙන්නාවම එදා ? පොලිසියේ රඳවා ගත්තා. එදා එලිවනකම් අපි දෙන්න හිටියෙ නෙළුව පොලිසියේ. පහුවෙනිදට එළිය වැටුණට පස්සේ තමයි මේ සිද්ධිය වෙන්නේ. අපි පොලීසියෙ ඉන්න අතරේ එදා උදේ මගේ මහත්තයගෙන් කෝල් එකක් ආවා. මම ඒ ඇමතුමට පිළිතුරු දෙනකොට එතැන හිටපු රාළහමි කිව්ව මෙතන ඉඳගෙන කියවන්න එපා එහා පැත්තට ගිහින් කතා කරන්න කියල. නමුත් මම ගියේ නෑ. අපි හිටපු තැන ලොකු වීදුරුවකින් ආවරණය වෙලා තිබුණෙ. ඒ පාර මම ඒ වීදුරුව අයිනට ගිහින් මහත්තයා එක්ක කතා කරන්න ගත්තා. එතනට දුව ඉන්න තැන හොඳට පේනව. මම වීදුරුව අයිනට වෙලා එයා දිහා ඛලන් ඉන්න අතරේ තමයි මේ සිද්ධිය වෙන්නේ. මට එතනින් යන්න කියපු රාලහාමි එකපාරටම මගේ දූව ළඟට ගිහිල්ලා එයාගෙ ඔලූව අත ගෑවා. ඊට පස්සේ මුහුණ ඉඹින්න ගත්තා. තව තව දේවල් කරන්න ගත්ත. අම්මා කෙනෙක් විදියට මට මේක බලාගෙන ඉන්න බැරි තැන මම හයියෙන් කෑගහලා ඇහුවා ”උඹ ඔය මොකද කරන්න හදන්නෙ…” කියලා. ඊට පස්සේ තමයි ඒ මනුස්සයා දරුව අතඇරල පැත්තකට වුණේ…”

තම දියණියට සිදු වූ අතවරයක් පිළිබඳව නීතියේ සරණ පැතීම පිණිස පොලීසිය වෙත යන එම මවට සිදුවන්නේ පොලිස් ස්ථානය තුළ තම දියණිය නැවත වතාවක් අපයෝජනයට ලක්වන අයුරු සියැසින් දැක බලා ගැනීමටය. ඉන් අනතුරුව එම කාන්තාව විසින් අදාළ සිදුවීම සම්බන්ධව සියලූ විස්තර තම සැමියා වෙත දැන්වීමට කටයුතු කර ඇත. එම තොරතුරු සැලවීමත් සමඟ ඇයගේ ස්වාමියා ද පොලිස් ස්ථානය වෙත පැමිණෙන අතර එහිදී ඔහු උස් හඬින් ප‍්‍රකාශ කර සිටින්නේ තම දියණියට මුහුණ දීමට සිදු වූ සිදුවීම පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසත් අදාළ චෝදනාව සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව කඩිනමින් නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසත්ය. ඒ අනුව අදාළ සිදුවීම සම්බන්ධව එදිනම පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙන අතර සැකකාර පොලිස් කොස්තාපල්වරයා පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ එහි ප‍්‍රතිඵලයක් ලෙසය.

මෙම කැත හිරිකිත ක‍්‍රියාව සිදුකරනු ලබන්නේ නෙළුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ 50 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු විසින්ය. පොලිස් නිළ ඇඳුමට මුවා වන මෙම කාමාතුරයා සිය පහත් ආශාවන් සපුරා ගැනීම පිණිස කෙළි බඩුවක් බවට පත් කර ගනු ලබන්නේ නීතියෙන් පිහිටක් පැතීම පිණිස සිය මව සමඟ නෙළුව පොලිසිය වෙත පැමිණෙන පහළොස් හැවිරිදි දැරියක්වය. ඇය දෙවන වරට අපයෝජනයට ලක්වන්නේ නෙළුව පොලිස් ස්ථානය ඇතුළතදීය. එය මුළුමහත් පොලිස් දෙපාර්තමේන්තුවටම අපකීර්තියක් ගෙන දුන් සිද්ධියක් බවට මේ වන විට පත්ව ඇත. ඉකුත් 30 දා පොලිස් අත්අඩංගුවට පත්වන මෙම සැක කටයුතු පොලිස් කොස්තාපල්වරයා අදාළ චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කොට ඇත.

මෙම සිදුවීම සම්බන්ධව නෙළුව පොලිස් ස්ථානාධිපතිවරයාගේ අප කළ විමසුමකදී පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කර සිටියේ සැකකටයුතු පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව උඩුගම මහෙස්ත‍්‍රත් අධිකරණයට ද ඉදිරිපත් කළ බවත් එහිදී ගරු මහෙස්ත‍්‍රාත්වරයාගේ නියෝගය මත සැකකාර පොලිස් කොස්තාපල්වරයාව ජූලි මස 14 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවත්ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් ස්ථානාධිපතිවරයා ”15 හැවිරිදි දැරියක් එයාගෙ අම්මත් එක්ක පොලීසියට ඇවිත් පැමිණිල්ලක් දානව. පැමිණිල්ලේ සඳහන් වන ආකාරයට යම් පුද්ගලයකු විසින් මේ දැරිවිය ව අතවරයට ලක් කරල තියෙනව. ඒ බව තහවුරු කරගන්න වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කළ යුතුයි. ඒ සඳහා තමයි දැරිවිය ව එදා පොලිස් ස්ථානයේ රඳවා ගන්නේ. දැරියගේ ආරක්ෂාවට එයාගෙ අම්මවත් නතර කර ගන්නවා. ඒ අතරතුර තමයි ඉකුත් තිස් වෙනිදා මේ සිද්ධිය වෙලා තිබෙන්නේ. යම් සිද්ධියක් වෙලා තිබෙනව. ඒ අනුව කටයුතු කරල දැනටමත් සැකකටයුතු පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කරලා තියෙනව. අධිකරණ ක‍්‍රියාමාර්ග අරගෙන තිබෙනව. ඒ වගේම මේ වන විට පැති කීපයක් ඔස්සේ වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරමින් පවතිනව..”

නීතියේ පිහිට පැතීම පිණිස පොලිසිය වෙත පැමිණෙන දැරියකට මුහුණ දීමට සිදු වූ කටුක අත්දැකීම පිළිබඳවත් ඒ වෙනුවෙන් ඉදිරියේ දී නීතිය ක‍්‍රියාත්මක වන්නේ මොන වගේද යන්න පිළිබඳවත් මේ වන විට රටම අවධානයෙන් පසු වෙති. රටේ දැවැන්තම රාජ්‍ය ආයතනය වන පොලිස් දෙපාර්තමේන්තුව තුළින් අසන්නට ලැබෙන මෙවැනි කැත හිරිකිත පුවත් පිළිබඳවත් එවැනි පුවත් නිර්මාණය කරන අතළොස්සක් වූ නිලධාරීන් සම්බන්ධව පොලිසිය විසින්ම ඉදිරියේදී ගන්නා නීතිමය ක‍්‍රියාමාර්ග මත මින් ඉදිරියට මෙවැනි ක‍්‍රියා සිදුවීම හෝ නොවීම තීරණය වනු ඇත.