September 21, 2024

Fly TV

Space of free media

DIG ලා 4ක් SDIG ලෙස උසස්වීම් – අජිත් රෝහණත් ඒ අතර

 5,756 total views

නියෝජ්‍ය පොලිස්පතිවරු සිව් දෙනෙකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධූරයට උසස් කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, පොලිස් ප්‍රවාහන කොට්ඨාශයේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු සහ අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාශයේ ප්‍රධානී රාජිත ශ්‍රී දමින්ද යන නිලධාරීන් තිදෙනා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධූරයේ ස්ථාර ලෙස උසස්වීම් කර තිබෙන අතර පොලිස් නීති කොට්ඨාශ ප්‍රධානී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ලෙස උසස් කර ඇත.

අජිත් රෝහණ මහතාගේ උසස්වීම ස්ථීරවන්නේ ලබන 30 වෙනිදායින් පසුවය.

අජිත් රෝහණ මහතා උප‍ පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස පොලිස් සේවයට එක්ව පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස සිටියදී තරග විභාගයකට මුහුණ දී සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස උසස් වීම් ලබා ඉහළට පැමිණි නිලදාරියෙකි.

කිත්සිරි ජයලත්, රන්මල් කොඩිතුවක්කු සහ රාජිත ශ්‍රී දමින්ද යන නිලධාරීන් ආධුනික සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස පොලිස් සේවයට එක්වූවන්ය. මේ අතර සිටින රන්මල් කොඩිතුවක්කු මහතා හිටපු පොලිස්පතිවරයෙක් වන ලකී කොඩිතුවක්කු මහතාගේ පුතාය. පොලිස්පතිවරයෙකුගේ පුතෙක් පොලිස් සේවයට එක්ව මෙතරම් ඉහළට පැමිණි ඉතිහාසයේ පළමු අවස්ථාව වන්නේ මෙයයි.

මෙම නිලධාරීන් තිදෙනා සමග ආධුනික සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස 1999 වසරේ මාර්තු 05 වෙනිදා උපාධිධාරීන් 07 දෙනෙක් පොලිස් සේවයට එක්විය. ඒ අය අතර සිටින නිලධාරීන් දෙදෙනෙක් මේ වන විටත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධුරයන්ට උසස්වීම් ලබා සිටිති.

පොලිස් ප්‍රවර්ථන සහ සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ උතුරු පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න යන මහත්වරු එසේ උසස්වීම් ලබා සිටින අය වේ. ප්‍රියන්ත වීරසූරිය මහතා මුලින්ම පොලිස් සේවයට එක්වන්නේ කොස්තාපල්වරයෙක් ලෙසිණි. කොස්තාපල්වරයෙක් ලෙස පොලිස් සේවයට එක්ව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධූරය දක්වා ඉහළටම ගිය ශ්‍රී ලංකා පොලීසියේ පලමු නිලධාරියා වන්නේ ඔහුය. අලුතින් උසස්වීම් ලද කිත්සිරි ජයලත් මහතා ද පොලිස් සේවයට එක්වන්නේ පොලිස් කොස්තාපල්වරයෙක් ලෙසිනි.

දැනට වැඩ තහනමට ලක්ව සිටින ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ ප්‍රධානියා ලෙස සේවය කළ නාලකද සිල්වා සහ පොලිස් උසස් අභ්‍යාස ආයතනයේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත යන මහත්වරුන්ද මෙම නිලධාරීන් සමග සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස පොලිස් සේවයට එක්වූවෝය. සජීව මැදවත්ත මහතාද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධූරයට උසස්වීම් ලැබීමට සුදුසුකම් ලබා සිටින අතර ඔහුගේ උසස්වීම පසුවට ලබාදීම සදහා ඔහුට හිමි තනතුර හිස්ව තැබීමට රාජ්‍ය සේවා කොමිසම පියවර ගෙන තිබේ.

ඊට හේතුවී ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටියදී ඔහු යටතේ සිටි නිලධාරීන් පිරිසක් විසින් කර ඇතැයි කියනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් කෙරන විමර්ශනයකි. එම විමර්ශනය අවසාන් වීමෙන් අනතුරුව සජීව මැදවත්ත මහතාට චෝදනාවක් එල්ල නොවන්නේ නම් ඔහුට හිමි උසස්වීම ලබාදීමට නියමිතය.

මෙම නිලධාරීන් අතර අනාගත පොලිස්පතිධූරයට සුදුසුකම් ලැබූ නිලධාරීන් කිහිප දෙනෙක්ම සිටීම විශේෂිතය.

ජ්‍යෙ.නි.පො.ප්‍රියන්ත වීරසූරිය
May be an image of Rajitha Sri Daminda and military uniform

ජ්‍යෙ.නි.පො.රාජිත ශ්‍රී දමින්ද

ජ්‍යෙ.නි.පො.සංජීව ධර්මරත්න
ජ්‍යෙ.නි.පො.කිත්සිරි ජයලත්
ජ්‍යෙ.නි.පො.රන්මල් කොඩිතුවක්කු
ජ්‍යෙ.නි.පො.අජිත් රෝහණ
ජ්‍යෙ.නි.පො.සජීව මැදවත්ත
ජ්‍යෙ.නි.පො.නාලක සිල්වා